චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

2024 ජුලි කලාපය

බැඳි නොබැඳි ප්‍රහසනය

බැඳීයෝ ලිහති

ලිහන්නට කරුණු ද සොයති

කට්ටි පැන පැන උන්

හොර ගල් ද අහුලති



නොබැඳි කම්පා වෙති

බැඳෙන්න ට කළමනා

රැස් කරති සැරසෙති

උකුසු දෑසින් විමසති

කොයි කොයි කියා

මා කැමති මට කැමති



බැඳීයෝ වාද වෙති

වචන ගල් අහුරු ගෙන

දෑත බැට දී ගනිති

හොඳක් නොකියති

වැරදි පමණක් දකිති

වචන මදි වූ විට

උන්ගෙ අත් පා ද

කතාවට එති

පුංචි ඇස් ඈතින්

ත්‍රස්ත වී මුළු මුළු වල

සැඟ ව බලමින් සිටිති



නොබැඳි අත් පටලා

මුහුදු වෙරළේ ඇවිදිති

තමන්ගේ දින

කැලැන්ඩර දින

එන තුරා

ඇඟිලි ගනිමිිින් සිටිති


තෑගි දෑතට දී ගනිති

රස කෑම කඩ වල

නොපෙනෙන අඳුරු කොන්වල

අනා රස බස්

රස බත් සමඟ වළඳති

වෙන් වී ගියත් හවසට

එස්එම්එස් වට්ස් ඇප්

වීඩියෝ කෝල්

මල් පිපේ

ස්මාට් දර්ශන තල මත

වැටුන කළ සයන ට

ඇරගෙන ම ඇස්

හීන දහසක් දකිති

කොපමණ කලකට ද

දෙයියෝ ම පමණක් දනිති

දෙයියෝ කොහෙ ද නොදනිමි



13-10-2020


මානව සමාජයේ යහ පැවැත්ම සඳහා

නීතිගත කර ස්ථාපිත කරන ලද

විවාහය නම් සංස්ථාව තුළ සහ

ඉන් පිටත සංසිද්ධීන් විටෙක

ප්‍රහසනයක ස්වරූපය ගනී

Photo credit; Jonathan Borba
View Poem