කපිල කුමාර කාලිංග

2024 මැයි කලාපය

දැවෙමි විඳිමි

බිලිය ගිලගත්
මසෙකු සේ
ඈ වටා සරමි

නෙත් කොනින් හෝ
නොබලයි ඈ මා දෙස
ගොඩ ගනු නොරිසින් ද
මා මේ දුකින්

ගිලෙමින් නැගෙමින්
දිය ගැඹරෙහි
විඳිමි විටින් විට
ඈ රූසිරි
එවිට ළසෝ ගිනි
හැරේ සතුටට

නොබලනු ඇතැයි ඈ
දියේ ගිළෙන මසු දෙස
මියෙනතුරුම
හැඟුණ ද
විඳිනු රිසිය
සරා දුක

දිවා රෑ දෙකෙහිම
උණුසුම් සයුරක් ලෙසින්
මසිත නොනිවේ
එකම නෙතු සිසිල ද
ඇයම ය
මානයෙන් පිරි

සැඳෑ කල සරදාකාසයෙහි
සරණ
මද මත් කොවුලෙක්
මහිස මතින් යමින්
ගයයි පෙම් ගීයක්
අස්වසනු පිණිසදෝ

නිශා යම
අසල ගල් කුළෙක
ඉසිඹුලන දියකිඳුරියක
ඇරයුම් බැලුම් හෙළයි
බිලියෙන් මුදනු පිණිස මා

නැත සිතක් ඈ ගැන
වෙළෙමි වෙළෙමි
උඩඟු රුසිරු ලිය වෙතම
උමතුවෙන් මෙන්
ඈ පිළිබඳ සිතින්
දැවෙමි දැවෙමි
හැර නොයමි එහිම රැඳෙමි
කටු සයනයක සැතපෙන
තවුසෙකු ලෙසින්..


24/04/06
View Poem