හශාන් සම්පත් සමන්වත්ත

2024 මැයි කලාපය

බේබද්දා...

කයිවාරුවට රුසි නොදෙමින් කටට විඩා
අරුතක් නොමැති බර වැකිනම් එමට දොඩා
ඉන රැඳි සරොම වැටුණත් දෙපතුලට කඩා
කෙරුමෙක් නොමැත අහලක තව ඔහුට වඩා

පෙර වෙර නොවුණු අතපයෙහි හත්තිය
වෙනුවෙන් යොදයි පැළ ඉනි වැටෙහි බුත්තිය
ගමටම හඬ නගා ඉල්ලුවද යුක්තිය
බල්ලොත් දනිති ඒ උත්තමයන්ගේ විත්තිය


ලෙන්ගතුකමින් අමතන්නට යැයි සොඳුරේ
මැදුරෙහි නොමැත වැඩියම පැය විසි හතරේ
සලෙ ලුන් වෙත සෙමෙන් යන එන අඩ අඳුරේ
නින්දක සුව තැනෙයි තම අඹුවගේ පැදුරේ

කළ ගුණ තබා යුතුකම්වත් බොහෝ හිඟයි
රහ මෙර ලොබින විසුමත් මව් රටට නිගයි
රත්වනතුරු හැලිය කකුළුවො දියෙහි රඟයි
බේබදු කමත් පරිහෙන ජාතියක මගයි

Photo credit; Motoki Tonn
View Poem