නයනශාන්ති දිසානායක

2024 මැයි කලාපය

අම්මා..

මවක මවුවත් ව ගුණ රැදි
හිත දැඩිව හැඩි දැඩි
ගත මොලොක් සුදු මුදු
හිතුවක්කාර ගති නිමිති
කිසිදිනක වයසට නොගිය
ඈ... සිව් අසූ විය සපිරි
අම්මා...ය..

සසර ම දිග් ගස්සවන
දරු පෙමින් පමනක් ම වෙළුන
උප'නූපන් නුවරක හිමි සිටින
සිට හමන හුළගවත් නොපතන
පිනට දහමට බෝ ලැදි
අතැර ගත නොහී දන් දෙන
ඈ.. සිරියාව පිරි උවන හිමි
අම්මා...ය

හතලිස් වියෙදී මා විදුම්
ඈ හට එකල නොවුනි ද හැඟුම්
විස්සෙ දී මා සිතුම්
අභියෝග ගැන්වූ රිඳුම්
තේරුනා නම් එදා ඒ ඇනුම්
අද මා නිවී සංසුන්
ඈ.. විසි වසක් දුර දැක්ක
අම්මා..ය

කිඹුහුමක වෙනසකට
අනේ.. විස්සෝප උන
කවදාක හරි දෙන්න
නැතිවුනොත් වී..සි කෙරුමට
සම ව සම සම ව වෙන්කොට
අයිස් පෙට්ටියේ ගල් උන
හැම එකාටම හිමි පංගුව
ඈ.. සම සිතින් ඉවසූ
අම්මා..ය

පාර අමතක නැතත් ගෙදරට
ආපු දුර මහ ගොඩක් හින්දම
නුඹ ට වාරුව වෙන්න බැරි මම
දැවෙමි මා, මා තුලම ගිලෙමින
වචන නොදෙඩූ ම'සිත ඉව කර
'උඹ හොදින්' දැයි අහන නිතරම
ඈ.. ම'හද ගැස්මට පන දුන්
අම්මා..ය
View Poem