ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පුතේ මම ගමට යමි

පුතේ මම ගමට යමි

අනුරාධා ගුණසේකර - හොරණ
2024-May

ඉර දැවෙන දහවලට
පුතේ හරි අමාරුයි මේ සිදාදිය මට
හදාගෙන යස ඉසුරු පිරි සිරි මැදුරු
නුඹ කොලොම්තොට ආවාට
අර හුරුපුරුදු ගම් පියස
මට මතක් වෙනවා නිතරම….

තුරු වදුලු සිප හමන
ගමේ මහ ගෙදර මිදුලට
දැනෙන්නෑ පුතේ මේ තරම් ගින්දර
කර දිය සුවඳ අරගෙන
හමන මේ ගිනි ගහන හුළඟට
මට පනක් නැ පුතේ ඇත්තට….…

සියලු සැප සම්පත් දීගෙන
යස ඉසුරු පිරුණු මැදුරක
තබාගෙන කරන ගරු සැලකිලි
පුතේ මහ ඉහළයි මට…

නුඹ අරන් උකුලටට පෙරදාක
කියාදී ගුණ නැණය හවසට
තාත්තගේ උණුසුමට සැපයට
නිදාගත් එළියේ පිල මත
ඇති තාම තාත්තගේ හුස්ම වල හඬ…..

අතින් අල්ලා මහා ගිරි දුර්ග පසුකොට
අරන් ආ හැටි හොඳට මතක බව
නුඹ ළඟින් ඉඳන් කියන කොට
සෙත් පිරිත් වගේ දැනෙනවා මට……

මේ සුවිසල් මැදුරුවල අයිතිය
මට වඩා තියෙන්නේ මගේ අම්මට
ඉතින් ජීවිතය ගෙවනකම්
ඉන්න කිව්වාට මේ වහල යට
කිසිම හුරුවක්
නැ පුතේ මට…

ගරා වැටෙන්නට ලං වුන
ගමේ ගෙදරට දියවුන
මගේ සොඳුරු තරුණ කාලය
ආදරෙන් ඉතිරුණු
ඒ ගෙදර සුවඳට
තාම ආදරෙයි පුතේ මම…..

තාත්තයි මායි මැද්දට
නුඹ ඇවිත් තුරුල්වී නිදියපු
මතක පිරුණු ඒ යහන මත
තාත්තගේ සුවඳ එක්කල
නින්ද යනවා හොඳට …….

වත්තේ ලිඳෙන් වතුර ටිකක් නාගෙන
කොස් පොලොස් දෙල් ගෙඩියකින්
රස දැනෙනවා මීට වඩා මට
තාත්තගේ හුස්ම හඬ එක්ක
ඒ දහදිය සුවඳ
තවම ඇති මහගෙදර …..

ඉතින් පුතේ….
මොන තනියක්ද …….

හෙට උදේ ගමට යන බස් එකට
ගිහින් දමාපන් හදාගෙන හිත
නිවාඩුවක් ඇති වෙලාවට
දරුවො එක්කල ඇවිත් පලයන් ……