ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කවි සිතක්…

කවි සිතක්…

මාලා විජේකෝන් - උතුරු කැලිෆොර්නියාව
2024-May

වසන්තය මම නම්
කලියෙන් නො එමි මෙතරම්
සිසිරයේ කඩ ඉම්
පසු කළා පමණකිය යන්තම්

සිසිල විඳ එතරම්
පලා ගිය සිත උණුසුම්
සමග මුදු සැමරුම්
පැමිණ ඇත මග ගෙවා සැතපුම්

රෝස පෙති මනරම්
සැලෙයි සුළඟට බැඳ පෙම්
ඩේලියා මල නම්
හිරුගෙ දැඩි සෙනෙහසට නොතරම්

ගතට දෙන සැනසුම්
සුළඟට ගෙනෙමි පැසසුම්
වසන්තයෙ ඉසියුම්
හැඟුම් පෙළ පිළිගනියි ඇගයුම්

කවි සිතක විමසුම්
නවතනු කෙලෙස නොදනිම්
ගිම්හාන ගිනියම්
වුවද කවි කළ හැකිය මටනම්
….මාලා විජේකෝන්…
කැලිෆෝනියාව