ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2024 මැයි කලාපය

සමනල සඳෙස -12

දත යුතු කරුණු ගොමුව - 10

වැලි මග


226. සමන් දෙවිඳුගේ අවසර ඇති ව ම
සිරිලක් මෑණිය සතු ලොකු වස්තුව
ගැමුණු කුමරු රට එක්සත් කර ගනු
පිණිස ම මග පිය සලකුණු තැබු බව
තෝරා ගත් මග ගලන දිසාවට
වැලි මග ගමනට පහසු තිබෙනු තව
පිරිස් සමග තම මව් ද රැගෙන ගිය
බව කියැවෙනුයේ ඇති තතු සුරැකිව


227. සමනල එ කරුණ නුඹට වැටහු‌ණෙ ද
මහ එළියේ හෝර්ටන් තැන්නේ
පණ නළ සේ විහිදුණු මහවැලියෙහි
මුල් දිය බිදු කදුළයි පැන්නේ
අග්‍රා බෝපත් කදුවැටියෙන් එන
දිය සීරාවෙන් දිව එන්නේ
කිරිගල් පොත්තෙන් එන දිය දහරත්
එක් වී අග්‍රා ඔය වෙන්නේ


228. මේ අග්‍රා ඔය “අග්‍රා බෝපත් ඔය”
සේ නව නමකුත් ගන්නේ
තොටුපල කන්දෙන් එන දිය දහරත්
බෝපත් ඔයට ම එක් වන්නේ
හෝර්ටන් තැන්නේ දිය සීරාවත්
හෙමින්-හෙමින් විත් සැනැහෙන්නේ
අග්‍රා ඔය “කොත්මලේ ඔය” ම වී
හැටන් ගගට විත් සැතැපෙන්නේ


229. මෙලෙසට එක් වූ කොත්මලේ ඔයත්
හැටන් ගගත් දෙකට ම පොදුවේ
එක ම නමින් “මහවැලිය” කියා අපෙ
මුතුන් - මිත්තනුත් ගුණ කිව්වේ
තැනින් - තැනට එබි-එබී බලන සිත
හැම විට කුකුසෙනි විමසූවේ
බලන් සොයුරු සමනල මල් රද
“මහවැලිය” ගලා සම්පත් යාවේ


230. මැද රට මැදිකොට උතුරු දෙසට ගොස්
ඊසානෙ දි කෙළවර දකින
ඇද - බැද ගෙන කෙත්-වතුපිටි-හේන් ද
පෝෂිත කරමින් යන ගමන
පෙරහුරුවක් නැති සුදුවුන් ඇවිදින්
හදි කෙටුමට සිරිලක් විමන
එහෙව් පරයො ගිළ දැමුවෙ එදා
“පනිනාගල” ළග මහවැලි සුරන



231. දැන ගත හැකි - දත යුතු දේ දැන ගෙන
දැනුම බෙදන පින දන්නේ නම්
හෙළයකු වී - හෙළ බිමට වැඩක් ඇති
කෙනෙකු විලස සිත දන්නේ නම්
දෙසට - බසට ළැදි ළය උතුරන පෙම
දැයේ දනට දන් දෙන්නේ නම්
පිනට- දහමට ද වඩා සුදුසු දෙය
ඒ දේ සිත් සතුටින් දේ නම්


232. නුඹටත් ඒ කුසල ම අත් වේවා
සමනල නොපමාව ම මග සාදා
කියන් මිතුර හැබැහින් නුඹ දකිනා
දෑ ඇය පිළිබද ඇති තතු පාදා
අගර - දගර පාමින් යන ගමනා
සරන දිශානති පිළිබද වාදා
මහවැලි ගං කොමළිට ජය වේවා
ගමන - බිමන යන්නට බිද බාදා

සමනලයා දුටු නදී කොමලිය-2
මහවැලි මනාලිය 14

233. මහ එළියේ කදුළ දිය බිදු ලෙසින් නුබේ
මහ කැලයේ බි‌දෙන්-බිද එක් වුණා ඉබේ
මහ සිලයේ එකී දිය කද පිරී ගැබේ
මහ වැලියේ උපත ඒ බැව් කියනු ලැබේ

234. දිය මං දෙ මං පත් තුන් මං පතට සැදී
ඒ මං සිව් වනු ව එක් වී යසට මැදී
බිං මං සොය-සොයා පහළට ඇදී-ඇදී
නෑ ගං යයි ගමින් - ගම මුව හාදු දිදී

235. කඩිසර ගමන ලාලිත හැඩයට ම දිසේ
මල්සර පහස විද - විද ඇය නටන විසේ
සත්සර හඩ මැගෙයි “ සරිගම-පධනි” ඇසේ
මල්වර වූ කුමරි සරතැස නිවන තොසේ

236. නෙක ගං කොමළියන් පහළට බැස යන්නේ
මේ රූමතිය ඉහළින් ම ය තැන ගන්නේ
දිගු සමනක යෙදෙන මැගෙ කෙහෙරළ මැන්නේ
එහි කෙළවරය ත්‍රිකුණාමලයෙන් පැන්නේ

237. දුරු මග ඇය ගෙවන ගල්පර තිබෙන වගින්
ගරු කොට විසල් පර මැද ඔප දැමුණි මතින්
ගුරු ඒ දවස සිටි ගෙන විරි කෙරුණු සොදින්
සුරු කම අදත් සිදුවෙයි ඇගෙ සොදුරු අතින්

238. නිරතුරු තෙළි තුඩට ගෙන කටු පැන්සලට
තොරතුරු-පන්හිදට-කොළයට - තල්පතට
විසිතුරු රටා ඈ වට සිත් ගත් කමට
පිවිතුරු සිතින් ලිව්වැයි රසවත් ලෙසට

239. කවිකර කියන්නට නුඹ ගැන බිදක් දැන
සවිකර ගතිමි දත්තය මොළකැටි ව මැණ
මැවි - මැවි බරට තිබු විස්තර මද වු තැන
“තැවි - තැවි ඉන්ට මග වෙ ද?” නැගි සිතෙහි පැණ

240. විටෙක දි ඇය පහන් සිත් ඇති සුකොමාලී
වි‌ටෙක දි මැය නුරා මනැසැති මනමාලී
වටෙක දි දැය අරා බැස නිති වන මාලී
විටෙක දි රැය පුරා වෙස බැති රණ මාලී

241. වන ගිරි දනව් බැස ගම් - ජනපද මැදිනී
පැන උස් බිමින් පහළට ජව ගෙන පැමිනී
තැන හිමි පළමු ගෙන දන පැසසුම් මැවුනී
පින ඇගෙ නමට ඇත ඇය හිමි ලක් මවුනී

142. පය ඉදිරියට ඔසවන ලක් මාතාව
කය ඉඩ සදා නැති කළෙ මැගෙ සංකාව
දැය පෝෂිත කරන මහවැලි ගංගාව
වැය කළ ජවය දෙයි යළි නුඹෙ හද ගාව

143. ඉපදුණු දින පටන් නොනැවති දවස පුරා
සවි දුනි කෙතට - හේනට පිපසට ද අරා
කුසගිනි ඉවස දන ගිනි නිවනෙමැයි දරා
බැස යන්නී ද ඇගෙ ඉවසුම පෙමට පෙරා

144. නුඹ “සරසවියක්” ය මට ඉගෙනුමට රුතී
සැමට ම වෙසෙස් රස ඇස ඇති අය ද ඇතී
සරමින් ගම් - දනව් බත සරි කරන ගැතී
නුඹෙ රන් නමට මගෙ මුදු හිස නැමෙයි නිතී

(මතුසම්බන්ධයි.)

2024.05.01
View Poem