ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අරා ගගනත පුරා සඳ

අරා ගගනත පුරා සඳ

ආරියරත්න ජයසිංහ - මහරගම
2024-May

( ප්‍රාග් ඓතිහාසික අවධියක එක්තරා ග්‍රහ වස්තුවක ආකර්ෂණයට හසුව
පෘථිවියෙන් කොටසක් කැඩී අභ්‍යාවකාශයට ඇදීගොස් පෘථිවියේ
ගුරුත්වාකර්ෂණය නිසා පොළොව වටා භ්‍රමණය වන බවටත්
ඒ කැඩීගිය තැන අත්ලාන්තික් සාගරය වූ බවටත් මතයක් ඇත.)

චණ්ඩ අහසේ හිරුට පෙම්බැඳ
එදා හොර රහසින්
නික්මුණා නුඹ මිහිමවුන් ඇකයෙන්
ලොල්ව හිරුගේ ආදරයට උණුසුම්

අදත් දිස්වේ නුඹ එදා සිටි තැන
විසල් අත්ලාන්තික් සයුර විලසින්

අත්ලාන්තික් සයුර පිරී ඉතිරින
ලවණ රස වැඩිවින සත් සමුදුර
එදා මිහිකත වැගිරු කඳුළින්

ඇය නැඟු විලාපයෙ හඬ එදා
දෙදරවී සත්කුළු පව්ව සිට
පොළෝ ගැබ ලෝදිය කඳත්
ගිනිකඳුත් විවරවී ගැලී දස අත.

මෙදා විත් නුඹ හිස මුඳුනට ඉහලින්
පෝය දා පිපි පුරා හඳ විලසින්
අරා නුබගැබ තරුද නිදිගත් මොහොතින්
එබී බලමින් සුදු වලා සේලය අතරින්

ලොවට පෙන්වයි දිය සිඳුනු මුහුදු කඳු වැටි
සක්‍ රදුන් ඇඳි සස රුවක් විලසින්
ලප කැළැල් පිරි නුඹේ සොමි වත
එදා සිට විඳි වේදනාවේ පිළිබිඹුව විලසින්.