දීපා ද සිල්වා - ලන්ඩනය

2021 මැයි කලාපය

කෝඩු පෙම්බස්

කල්පයක් බලා ඉඳ , ලද සොදුරු       ඇසිල්ලේ
පෙනේ නලියන කැලුම් මුදු සීත        මදනලේ
දෝත පා තම ලබැඳි හොවන ලෙස තුරුල්ලේ
අතු පතර දඟ කරයි අවකාශ            වලල්ලේ

දිරා ගිය ඉපල් ලඟ නිදි කිරූ      වලාවන්
නිසල හිස් අහස යට ගෙවා දැමු සැදෑවන්
වැහි කෝඩ පිරිමදින හිතේ ඇති දයාවන්
දළු ලාන තුරු අතර රඟන නව  කලාවන්

තුෂර පිනි කැට වැටේ නාවන්න නව දල්ල
සිහින් පාවඩ එලේ සිප ගන්න තණ නිල්ල
මිහිරි කිංකිනි වැයේ ඉපදෙනා හද සොල්ල
දෙව් විමන් පරදනා අසිරිමත් මහි කෙල්ල

ලියවැල් ඇහැරිලා තුරු හිමි    බදාගෙන
පීදෙන කුසුමේ ලෙන්ගතුකම දරාගෙන
විහඟ ගීත නාදෙන් හද        පුරෝගෙන
දිලිහෙයි ලාඉරේ රැස් ටික      උලාගෙන

සෙනෙහසින් දෝරෙ යන වසන්තයෙ කතාවන්
වලාකුළු රසවිඳියි දැනිලදෝ               සෙයාවන්
මල් පුසුඹ ඉව කරන පවන් පෙති        ලතාවන්
තවරන්නෙ හදින් හද අලුත් වන       හිනාවන්

නැවුම්  හුස්මක පහස විඳ ගන්න        අරඅදින
සඳ ලතා අවදියෙන් තරු පාරෙ ඉඟි        කරන
වැල් පාලම් කොනේ සෙවනැල්ලෙ තනි මකන
කෝඩු පෙම්බස් ඇසේ කාලෙකින් මුණ ගැසුන
View Poem