ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදරණීයම සෘතූන්…

ආදරණීයම සෘතූන්…

සිතාරා සේනාරත්න - වේල්සය, එක්සත් රාජධානිය
2024-April

මේ සිසිර සෘතුවේ – අඳුරු වැහි වළා යට
තෙතබරිත වීදියක – නුඹ සමඟ ඇවිද යමි
සුළඟ හා මුසුව එන – අයිස් වැනි වැහි බිංඳු
විනිවිදව කබායත් – ගතම හිරි වැටෙන විට
නුඹේ අත උණුහුමෙන් – මහද සනසා ගනිමි
වසන්තය එනෙනතුරු – මඟ බලා ගෙන හිඳිමි

බෙරි පඳුරු අස්සෙන් – ඉඳහිටක මතුව එන
රොබින් කිරිලියකගේ – මනමාල ගී හඬින්
වසන්තය පැමිණි බව – ඉතින් මම දැන ගනිමි
ලැවැන්ඩර් ටියුලිප් – මල් පිරුණු උයන් මැද
නුඹ සමඟ තුරුලු වී – කෙළිදොලෙන් ඇවිද යමි
නුඹේ ඒ සිනාවෙන් – මහද සනසා ගනිමි

හිරු සමඟ හැඩ මවන – වෙරළ හා දඟ කරන
රැළි පෙරළි දෙස බලා – සිප්පි මත පා තබමි
විඩාබර දවස අග – සල්ලාප අතර මැද
බීර රස තොල රඳන -සවස්වරු ගත කරමි
ගිම්හාන උණුහුමේ – නුඹේ සෙවණට ඇදී
කෙටිම වූ රාත්‍රීන් – මිහිරිතම කර ගනිමි

නේක ලෙස වර්ණ වූ – ලස්සනම මේපල්
කොළ එකින් එක ඇහිද – සුන්දරම මතක හා
දිනපොතේ පිටු අතර – සඟවලා තබා ගමි
ආයෙමත් දිගු ශීත – කාලයක් එනෙන බව
සරත් සම සුළං සර – කොඳුරනා බව දැනම
කනස්සලු නොවී මම – නුඹ සමඟ සිනාසෙමි
ආයෙමත් එක් වරක් – ආදරේදැයි අසමි

11.03.2024

Photo credit: Joshua Fuller