ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මවි සෙනෙහසේ දායාද

මවි සෙනෙහසේ දායාද

නිලූකා පතිරණ - ඇඹිලිපිටිය
2024-April

සඳ තරු නිදි නොමැති ඝනදුරු අහස් ඉමේ
නොනිදන රැයේ නෙතුපිය කදුළකට නැමේ
මොහොතකටවත් තනි නොකරපු පැටව් ලැමේ
පිළ උඩ පැදුර මත සුසුමන් වාං දැමේ

තුන්පත් රටා මවමින් පන් පැදුරු වියා
නෙළමින් පලා කොළ සොයමින් දරට ගියා
මා දං හිඹුටු බෝවිටියා නෙරියෙ තියා
තවමත් දකිමි ඇලවෙන විට දෙනෙත පියා

පිටු පා ගියත් ලෝකය නොම නොසෙල් වෙතී
ලැබුවේ දුකම විතරයි කදුළකින් ගෙතී
ඇසුවත් නොයෙක් ගැරහුම් සිත රිදුම් කතී
තරහක් නොවේ අබැටක්වත් සිතින් සිතී

වැහැරුණු කොපුල් තල කදුළැලි සිපගද්දී
හදවත නැඟෙන සුසුමින් ළය ඇවිලෙද්දී
තම කුස නොපිරුණත් උන් කුස පුරවද්දී
උතුරා ගලයි සෙනෙහස සිත අස්වැද්දී

ඝන කළු වළා අතරින් රිංගා රහසේ
සඳ හෙමි හෙමින් සැඟවෙනවා දුර අහසේ
නුඹ ඉකි ගසා හඬනා කදුළක පහසේ
දැනිල ද කැකුළු මල් පෙති සැලුනේ රහසේ

වැටි වැටි දුවන විට විත් අත අල්ලාපූ
ඉකිබිඳ හැඬුවදා උකුලෙහි නලවාපූ
අඩියෙන් අඩිය පසු පස විත් දඟදාපූ
කෝ අද කොහිද දරුවෝ නුඹ සනසාපු

ගල උඩ පන්සලේ පෝදා සිල් රැක්කේ
බෙදුව ද දන් පිඬක් දරුවෝ නැත දැක්කේ
දොරකඩ ගහේ පොල් අමුණාගෙන කෙක්කේ
ඉක්මන් අඩි තියා පිටවුණි අරුමැක්කේ

සඟවා ළයේ සතපා මගෙ පණයි කියා
රැකගත් උනුත් අද පිටමං වෙලා ගියා
ලොවක් කොහිද අප වෙනුවෙන් ඉදිව තියා
මට ද මමත් අහිමි වු බව දහමේ ලියා