තුෂාරි ජයසිංහ මහනුවර

2024 පෙබරවාරි කලාපය

පටාචාරාවකගේ පුනරාගමනය.

පාර අද්දර රෑ මද්දහනේ
හිතට මුල් තැන දී
සෙනේ කොළ ඇහිඳාපු
හිතුවක්කාර සමනලී
ධරණිය පෙළා වට වැස්සට
ගහගෙන ගිය ජීවන අඟුල
පහන් කණුව පාමුල අඳුරේ.

හිමි පණ පිටින් මියගිය කොට
කර ගැසුවෙ නුඹ පවකට
නයි හුඹස් එමටයි
යනෙන ඔය මාවතේ
දරු සෙනෙහස උස් නිසා අහසට
කුස පුරවන්නට වුව
ගිනි තැබූ මහ ගෙදර දුමයි
ඔය නගින්නේ ඉහළට සමනලි.

අචිරවතිය වෙනුවට
පිපි මහ වැලියට
සිප සනසා දරුවන්
බිලි දිදී සැඩ පහරට
කවර නම් සැනසුමක්
ලබන්නද මිහිපිට .
පාරවල් අස මස් වැදලි
පැහැර ගන්නා උකුස්සන්
ඉන්නවා මග බලන්
මහ දවල් සීතලේ.

නිරුවත් කර නුඹේ ගත
වසාගන්නට නොදී රෙදි කඩ
ගල් ගසා එළවද්දි
එළඹ සිහියට ගන්න
නුඹෙ නඩුව අසන්නට
කෝ කෙනෙක්
දෙව්රම් වෙහෙර වට කොට
තාප්ප බැඳි නිසා
බුදු බණත් අහිමි වූ සමනලී
රහත් වෙන්නට නම්
දෙපා සෝදාපන් ඉක්මනින් .

ඉපදෙනා මැරෙනා සසර නම්
දුකක්මැයි තටු බිඳුණු සමනලී.

Photo: Dave Hoefler
View Poem