බී.පවිත්‍රා අංජලී ලීලාරත්න ආලංකුඩාව

2023 ඔක්තෝබර් කලාපය

හිච්චි

එක හුස්මට දවල් බත් ඩිංග
බඩට දාගෙන මද්දුමෙයි මායි
පැන දුවපු කාලය වෙල් එළිය දිහාවට
මතක් කරන කොට හිච්චියෝ,
කඳුළු කැට වැටෙනවා
එක බත් පිඩක්වත්
උඹට නොතියාපු එකට බත් මුට්ටියේ...

උඹ එක්කාසු වුණදාක අපි එක්කලා
සෙල්ලමත් ලෙල්ලම කරලා
තල්ලුකරලා ඇළ කණ්ඩියට
තනිපංගලමේ දමා ආපු දවස්වල
හිච්චියෝ, උඹට දැනුණාද දුක උසට...

අපේ ඇස් රතු කරන්
හරි හරියට උඹේ දෝස
අම්මා එක්කලා දොඩාලා
උඹේ පිට හරහා යන
කෝටු පාරවල් බලලා
හොරෙන් අපි ඔච්චම් කළාට
මක්කෙයි හිච්චියෝ,
පහුවෙලාවත් අපට ටොකු පාර නුදුන්නේ...

හුඟ අවුරුද්දක් ගෙවිලා
උඹලා අපි පැහිලා
කෙස් රැවුල් සුදු පාටටත් හැරිලා
මද්දුමෙත් සිදාදියේ
ඔට්ටුවෙනවලු ඇහැ පියන් නැතුව
සුදු නෝන මහත්තයලට
බේත් ඖෂධ නියමකරන්නට...

ලියුම් කඩදහියක් යැව්වත් උන්දට
නැහැ වගක් මගේ වන්දනා ගමන ගැන
මොකවත්ම ලියා එව්වේ
කර උඩට වැඩත් ගොඩ ඇති මයේ හිතේ...

කරගැට එනකල්ම හේන් ටික කොටලා
උඹට ලැබුණ ඉස්සරෝම කාසි ටික
ඇවිත් මගේ අතේ තිව්වේ
මොන හිතකින්ද
ඉතින් මයේ හිච්චියෝ...

මහ මළුවේ වැලි කැට ගානට
පින් දෙනවා මං උඹට
සුදු මල් මිටක් අතේ තියන්
එක බඩින් නො ආවත්
එපා වරදක් කරන්ට
අනේ මයේ හිච්චියාට...
View Poem