සොඳුරු ඉසව්ව,
තුරු ලිය සිඹිමින් සුවඳ හමයි
සිහිලස උණුහුම එකට සමයි
වන පෙත දොළ දිය දහර නමයි
මිහිමත තුසිතය ගමම තමයි,
යල මහ බත දෙන සරු කුඹුරූ
අස්වැනි වස්සන බිම වැපිරූ
හිත හිත පුබුදා විල් තඹුරූ
සුව දෙයි ගොම මැටි ගෑ මැදුරූ,
පැල්පත සරසා සිරි මවනා
නන් රස බොජුනට මුහු කරනා
හේවට කුඹුරට පිය මනිනා
ඈ වෙයි ගම්බද සුර අඟනා,
දකින දසුන් හිත මිහිර පොවා
ඵල රඹ කැන්දන ඉසුරු මවා
ජීවන මග හිඳ මිහිර දොවා
සැනසුම ගෙන දෙයි රැයද දිවා,