ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2023 ජුලි කලාපය

කවි ඇසින් මා දුටු සම්මානිත මහැදුරු

කවි ඇසින් මා දුටු
සම්මානිත මහැදුරු කලාකීර්ති ශිඛාමණී
ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්


සුනිල අඹරෙ පැහැදුල් නිල් තලාවේ
විපුල පතුරවයි තරුමල් වලාවේ
දිදුල පැහැබරින් කළ කම් කලාවේ
සිතුල දෙවයි දොවනට මේ වෙලාවේ

අරිය බව සැබැයි බුදු හිමි පහස ලැබූ
පිරිය මට තිබෙයි තතුගෙන රහස තැබූ
විරිය නොම අගෙයි ඒ තතු රසය විබූ
දිරිය ගනිමි ගෙතුමට ඔහු නමින් තිබූ

රත්න තිබේ ලක් පොළොවේ තැනින්-තැන
දත්ත නිසයි කැණැ-කැණැ සොයනුවෙ ද පැන
රොත්ත පීරමින් සෙව්වත් ලෙවන් ගැන
ගත්ත රත්න මට මදි වෙසෙසින් ම දැන

සමනල අඩවියේ අනුහස ලැබුණා දෝ
රසනල කුරුවිටෙන් සවිබල ගැනුණා දෝ
බලතල බණ්ඩාර කුරුවිට සැදුණා දෝ
සුලමුල එගම් පියසෙන් පටබැදුණා දෝ

එකදස් නමසියේ හතළිස් නම වසරේ
ඇසල මාසයේ අටවිසි දින සසරේ
කතරක යනුව දිගු-කෙටි ගමනක මිතුරේ
ඉපැදුණු පුත කුමරු ගැන කවි මල් විසිරේ

පවුලේ සිව්වැනිය ලෙස ඉපැදුණත් රැසේ
වදුලේ කෙළිබිමේ සහඋදරයන් ඇසේ
එක ලේ දුවන අයියල-අක්කල ද පැසේ
මිදුලේ කෙළිදෙලෙන් ගෙව්වා දිවිය එසේ

කොළඹට නුදුරු තැනැ විය ඉපැදුණු එලෙස
බෝ සෙවනයි නුගේගොඩ අසිරිය පෙදෙස
උගෙන ජෝන්ස් විදුහලෙ තිබු ගම් පියස
නිම කෙළෙ පාසලේ ඔහු ඉගෙනුම් පවස

සිව්වැනියා වුව ද පවුලේ හැම විට ම
“ගව් ගණනක් වුව ද යමි ඉගෙනුමට මම”
කිව්වත් හරවමින් පද පෙරළියට සම
සව්දිය පුරන්නට සිතුවැයි වරද කිම?

දොළොස් වියට පා නැගුමට පෙරාතුව
“අමල් බිසෝ නාටකය” ද ලීව බව
නොකියා සිටියොතින් අඩුවක්වීම නොව
කැපී පෙනෙයි ඔහු මතු කළ හැකියාව

එකදස් නමසියේ හැටතුන් අවුරුද්දේ
ලිව්වේ “සා.පෙළයි” හිණි මං පෙත මැද්දේ
හැත්තෑ එක වසර නමසිය එක දස්සේ
සිංහල බසට ගරු නම්බුව ගෙන බැස්සේ

එකදස් නමසියේ හැට එක් වසරෙ සිට
එකදස් නමසියේ හැත්තෑ අග මෙපිට
“ජපුරේ” සිසු කෙනෙක් ලෙස අවසානයට
“ජීවිත ගීතයක්” කෙළෙ ඔහු පැතු ලෙසට

අරගෙන උපාදිය සිත් සේ පෙරුම්පිරූ
“දොළොස් මහේ පහණක්” වී මෙතින් සරූ
“විධ - විධ” රටා මවමින් පද සුමට කෙරූ
ඔබ ම ය බසට “ලය” දුන් අපෙ මහඇදුරූ!

එතැනින් නොනැවතුණු එතුමන් කැළණි ගොසින්
විදු නැණ විශ්ව විදුහලෙ දූ - දරු සමගින්
නිලතල අතර වැජඹී දැයෙ බස වෙනුවෙන්
පැමිණියෙ “ජපුරට” ම වී මහ ඇදුරුතුමන්

මේ සා වස් කෙළේ සිංහල බසට රසේ
දේ සා මාමයෙන් ලියමින් රසට - රසේ
ඒ සා හිත කලාවට ඇති පෙමට උසේ
සේ සා කෙළේ නෙක-නෙක පතපොතයි බසේ

එකුන් දහහතේ වස කෙටි කතා පොතක්
“අහිංසක” නමින් කෙළෙ කව් සංග්‍රහයක්
“අලකෙෂ්වර” කෘතිය නවතාවෙන් කෙරුණක්
“රැකවල් සියොත්හට” තව කවි මාලාවක්

බැදි සිරසින් යුතු ව ගජ මිතුරන් දන්නා
ජයලත් මනෝ බුදදස් ගලපති දෙන්නා
“ගීත පහන් කන්ද” ට නැග රස පෙන්නා
“මධු බදුණක්” මවා “ස්වෙත රාත්‍රිය” මැන්නා!

“යාත්‍රා” කෙළේ ගී දියඹෙහි ගැඔුරූ”
“පෙම්බර ලංකා” පිළිබද පත්පිඹුරූ!
“මේ ගුරුපාරෙ” ඈතට ගිය මහ ඇදුරූ
ලිව්වා “වියෝ ගී” තෙමමින් සිත් සොදුරූ

“අනේ කුරුළු කූඩුවට” ද ගහන්නෙපා
“ඔබ තෙමෙයි කියා බයයි” වැස්සේ එන්න එපා
“දුවගේ සිනා වැල පොඩි” පැල්පතක පපා
“බුද්ධානුභා... පිපි මෙත් මල්” එහි සතපා

“දුෂ්කර ක්‍රියා” - “සරා... ගී” - “සරුංගලේ”
“සිරිබෝ අයිය” - “අනුපමා...” - තිරේ දිලේ
“චරිතාපදානය” පිළිබද රුවන් හෙලේ
“කොල්ලයෙ විජයබාවෙන්” දිගුහැරුම් කෙළේ

දමිළ බස උගත්තේ තව දුර මැනෙන
සාහිතය ද ඉතිහාසය මැණ බැලෙන
පරිවර්තන කතා ජන දමිළෙන් වෙළෙන
පරිචය ඇති ව පෙරළුවෙ හෙල බසටගෙන

සිංහල බසට සේ තැන දමිළයට දෙමින්
“මහදැනමුත්ත” දෙමළෙන් - “බොදු දෙමළ” නමින්
ඇති පොත් වණ කෙළේ “දෙ - බසට” ලැදි ව පෙමින්
“දෙමළ සීණුවැයි” ගරු නම ලද එහෙයින්

බස ගිනි පොවා කළ ගී පද අතර වැදී
“පවන” – “ගිතයේ සත්‍යය” පෙරට ඇදී
“දනන් රුහිර බී” - “මගෙපුතු” හදෙහි මැදී
හැම සවනතට දුන්නෙ ද ගල්-මුගුරු පැදී!

“සකුරා මල” යි ගුවනට මුසු කළ ගීයේ
“කඩුපුල්” ගීත නාටයෙනි පිවිසීයේ
“ගන්ධර්වයකු සේ සැග වී” ගී දායේ
“සත්සර රටා” පද අතරින් මතු වූයේ!

මේ මස යෙදෙන එතුමන්ගේ ජන්ම දිනේ
එකුන් සැත්තැපස් වසකට ගණන් ගැනේ
රට-දිය පමණි නොව - ඔහු හිඳ උගත් තැනේ
සිට ණය නොවී කළ සේවය නිබඳ වැනේ!

එතුමන් ගිය මගෙහි පිපි මල් නෙක සුවදයි
දිවමන් පදකුරෙන් ඔප කළ වැල් අමුණයි
කියමන් විෂය පථයට “ යා රත” වාගෙයි
පියුමන් පිපෙනු ඇත නව - තව අභිමානයි

පිරිසිදු නිල ඇදී ඇදි - ඇදි අහස් කුසේ
රිවිසදු රැස වැදී වැදි - වැදි අහස් උසේ
බසවිදු නැණ රැදී රැදි - රැදි සහස් ඇසේ
රසමුදු පද සැදී -සැදි - සැදි මනස් පැසේ

වෙසෙසින් විෂය පථයට විවිධත්වයට
වෙහෙසින් සොයමි මම පද කවිකත්වයට
යුගලෙන් දළැති ඇත් වන් එතුමන් නමට
කෙලෙසින් වරුණ කළ හැකි වෙ ද සාවකුට!

පිරිපුන් සඳු විලස නැගැ - නැගැ අඹර දිගේ
දිලෙමින් රිවි කිරණ වැදි -වැදි අබය මගේ
විඳිමින් සතුට නොඅඩු ව කැණිමඩල වගේ
බැබලෙන් චිරං ජය!! “ජපුරෙහි පුතුගෙ” අගේ!!!

සුනිල කව් සරණිය නිමීයේ.

1.07.2023
View Poem