මාලිනී හෑගොඩ USA

2023 ජුලි කලාපය

ආදරේ

සාගරේ වගේ යයි
ලියුවාට කවි ගොඩක්
ගැයූවත් වැයූවත්
ලියූවත් නෑ නිමක්
නෑ වගේ මනින්නට
මේ ලොවේ කවුරුවත්
ආදරේ කියන්නෙම
උහුලන්න බැරි බරක්

ආකහේ දිලිසෙමින්
පායනා තරු ගොඩක්
එළිය දෙයි බිඳ වැටෙයි
පරමාණු මහ ගොඩක්
ඒ එළිය විසිරිලා
දිස්නෙ දෙයි සක්වලක්
ආදරේ කියන්නෙම
ඉඟිමරන තරු කැලක්

මල් පිපී සුවඳ දී
සනසවයි ලෝකයක්
මධු රසින් මත්වේවි
තරුණ සමනල කැලක්
මල් නැතිව මධු නැතිව
තියේවිද කිසි රහක්
ආදරය කියන්නෙම
මල් පිපුණු මල් ලොවක්

2023 ජූනි මස 7 දින
ඇමරිකා එක්‌සත් ජනපදයේ
කැලිෆෝනියා ප්‍රාන්තයේ
ෆොල්සම් නුවර දීය.
View Poem