ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

🌹….එක දවසෙන් මව්ගුණ සැමරුම…..🌹

🌹….එක දවසෙන් මව්ගුණ සැමරුම…..🌹

නදීශානි - මහනුවර
2023-June

හැඩ වැඩ කළා මේ ජීවිත වල ගමන
අම්මා නැමැති දෙවඟන මෙලොවට පැමිණ
බුදු හිමි පවා ඇත මව් ගුණ කඳ දෙසන..
නිවසේ බුදුන් ලෙස ඇය හට නම තැබින..🌹

උදයේ සවස මවගේ දෙපතුල අල්ලා
කීවත් අම්මගේ ගුණ කඳ ගැන දල්ලා
සත්තයි ඇති නොවෙයි මව් සෙනෙහස ඉල්ලා
උල්පත වගෙයි දාරක සෙනෙහස ගල්ලා…🌹

මවසතු නොනිම් කරුණා ගුණයෙන් පාවී
සැනසූ ලොවම ආදර සිහිනෙන් දේවී
එතරම් උතුම් ගුණ කඳ සිහියට ඒවී
කිමදෝ මවට කැප එක දිනයද පේවී….🌹

ඇගේ මුළු දිවිය දරුවන් හට කැප කරලා
දරුවන් නිසා කඳුළැලි සයුරක් හෙළලා
වසරක් තිස්සේ තම මව අමතක කරලා
කුමටද ඉතින් මව් උපහාරය පුදලා ….🌹

අසරණ මහළු අම්මා ඇදගෙන කුදලා
ගෙන ගොස් ඇගේ පුතු මව මඩමට දමලා
මව් දින සැමරුමට ඔහු අද දුව පැනලා
කුමටද මෙවන් අය මව හට වැඳ වැටිලා ….🌹

බටහිර දේසේ මිනිසුන් දින වෙන් කරලා
සමරා සතුටු වන මුත් මව් ගුණ ගයලා
කුමටද අපිත් ඒ අය පසු පස වැටිලා
සැමදා ගයමු ගුණ මව දෙපතුල වැටිලා ….🌹

මව හට පියා හට දින දින වෙන් කරලා
ජලයට ගහ කොළට තව දින වෙන් කරලා
කුමටද දවස් තුන් සිය හැට පහ බෙදලා
නොසිතා සිටියි නම් මේ ගැන මම ඔබලා ….🌹

දින වෙන් කෙරුම නැහැ නොවැ වැදගත් වීලා
වටිනවා සැලකුවොත් සැමදා සිහි කරලා
මව සහ පියා දෙපළම සතුටින් තියලා
සැනසෙමු අපි සැවොම සතුටින් පින් පුරලා ..🌹