ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අම්මෙක් උනාම එහෙමද ?

අම්මෙක් උනාම එහෙමද ?

වෛද්‍ය බෝධිනී සමරතුංග - ස්වීඩනය
2023-April

විලිරුදා දුන් අහස හැඬුම් හඬ වියළිලා
කිරි සුවඳ හමා එයි බිළිඳු මල් පීදිලා
ගැබ් බරින් මිදුණු මව් ගත වෙහෙස නොම බලා
කඳ පුරා කැති පොරෝ පහර දෙති රැස් වෙලා

ඇයි හැඬුම් කිරි නැද්ද අපිට තිබුණා බොහොම
ඔහොම ඉන්නේ කොහොම වග විභාගත් වහම
අපිත් හැදුවා දරුවො ඔහොම නෑ නොව මෙහෙම
දොස් පරොස් බස් ගින්න දවයි මව් තුරු හිතම

බිළිඳු හැඬුමට එබී බලන දහසක් දනන්
මවුන් හද බිඳෙන හඬ දකින්නේ නැත සොවින්
කයේ අපමණ වෙහෙස වෙනස්කම් නොම දැනන්
තල තලා රිදුම් දී සදයි මව් සිත් සොහොන්

ආදරය කරුණාව නිද්‍රාවකට වැටුණු
ඉර ඉරා සඳ මරා තරු උකස් කර වැඩුණු
දරා ගන්නට නොහැකි වදන් හී තල දරුණු
සිතුවිලිත් අතරමග අත හරින බව දැනුණු

ජීවිතේ අඳුර මැද එළිය පොඩ්ඩක් පිඹිමු
පසු ප්‍රසව විශාදය ඒ කුමක්දැයි බලමු
දරාගන්නට නොහැකි වෙනස කියවා ගනිමු
අම්මලා දැවෙන්නට නොදී සෙනෙහෙන් රකිමු