ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දේව මෑණියනි

දේව මෑණියනි

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2023-April

නාමල් පිපිලා වැවෙන් හමනා මද සුළඟට පැටලිලා
සරතස නිවයි බැතිමතුන්ගේ සිත් සනසවාලා
රබර් වතු යාය නිල්ලක්සේ වට කරමින්
සුදට සුදේ ඈතින් දිලෙනා මැදුර බැසිලිකා
උදෑසන දේව මෙහෙයට ඇදෙනා බැතිමතුන්
උදාරයි,… තේවත්ත ගම්මානය උදාරයි,…..

අප ලක් මෑණියන්ගෙ දැසින් ගලනා කදුළු
දේව මෑණියනේ ඔබ දැසින් දැක ගන්න,. ..
කිරට හඬන කිරි දරුවන්ගේ හඬ බියකරුය
ඔසුහල් ඇතත් ඔසු පැන් නැත එහි ගන්නට
පාසැල් දරුවන්ගේ බඩවත පිට කොන්දට ඇලිලාය
මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් මග හැලිලාය
රෝහල් වාට්ටු පණ අදිනා ඇටසැකිලි වලින් පිරිලාය

වැව් තාවුල්ලේ ගී ගයනා බටිති මලිතියන්නෙ
පියාඹලා ගිහින් බැසිලිකා මැදුරේ මාඉමට වෙලා
දේව මෑණියන්දෑට දුක් ගී ගයමින්
මහ එවුන්ගෙ මහා වැරදි පෙන්වා
අපේ ඡන්ම භූමි උන්ගෙ දරුවන්ට නොවෙයි
අපේ දරුවන්ට ලබාගන්න

අල්තාරය ඉදිරියේ ඉටි පහන් දල්වා
යදින යාතිකාවන් රට ගොඩ ගන්නට
වග කිව යුත්තන්ගේ අවධානය තර කරන්න
දරන වෑයම අහෝ! දේව මෑණියෙනි
ඉටුකරනු මැනවි!

19/3/2023