ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අනවැසි පුරස්න …!

අනවැසි පුරස්න …!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2023-April

නෙත යොමුවුනෙ දෙබසකටයි වත පොතෙ එහෙ මෙහෙ යද්දී…
සිත ඇදගත් නිසා සිතුනෙ කවි කෙරුමට ඔහෙ ඉද්දී…
එතරම් රසවත් කතාව , පටන්
ගත්තෙ, ගෙට එද්දී..,
නිතරම එහි යනෙන කෙනෙක්,
දරුවට වදයක් වෙද්දී…

“පුතා අදත් පාඩම් කරනවා වගෙයි එහෙම නේද…
හිතා ඉන්නෙ කවුරු වන්ට, කියලා මට කියනවාද…?”

“ඉතාමත්ම ගැටලු සහගතයි අංකල්, පෙනෙනවාද..,
කතාකරොත් ඒගැන කීදෙනෙකුගෙ සිත් රිදෙනවාද…?”

“ගුරුවරයකු උපයන ඒ වැටුප
සොයා බැලුව කලට…
වරුවයි වැඩ, හැත්තෑ පන්දහක් ලැබෙනවලුනෙ මසට…”

“මරුනෙ පුතා, එහෙනම් හොඳ නෙවද එහෙම වුනොත් ඔබට…
කෙරුවොත් පාඩම් නිසිලෙස ගුරුකම නම් ලැබෙයි යසට…”

“ඉංජිනේරුවෙක් උපයයි ලක්ෂ තිස්හයක් වසරට…
මං වැරදදිද , එයට වැඩිද ? ඇහුනෙ එලෙසමයි මෙමහට…”

“දැං පුතාට හිතෙනවනං වෙන්න හැකිනෙ ඒ විදිහට…
ලංකාවට ඕන උගත්තුයි මට
හිතෙනා හැටියට…!”

“දොස්තර කෙනෙකුට ලැබෙනව ලක්ෂ හැට පහක් වසරට…
විස්තර හෙව්වමයි දුටුවෙ , කියල තිබුණ පත්තරයට…!”

“ඉස්තරම්නෙ ! ඉතිං පුතේ වෙන්න බැරිද, අනෙ ඔබහට…
ලස්සන දිවියක් ගෙවතැකි , පහනක් වෙයි නෙව නිවසට…!”

“උගත් කමක් නැතුවත් කෝටිම දහසක් එක් වසරට…
නොගත්තෙ කවුරුද කියන්න ඇවිදින් දෙස් පාලනයට..?”

දෙඅත් හිසේ රැඳවුනෙ ඇස් ඇරිලාමලු හරි ලොකුවට…
පහත් වුනාලුනෙ අංකල්, සැනෙකින් ළඟ තිබු අසුනට…

“ඒකනෙ මම මුලින් කියුවෙ ගැටලු සහගතයි කියලා…
ඕකනෙ අද රටේ තත්වෙ , කුමටද පාඩම් කරලා…?”

නාකනෙ අද දරුවන්ගෙන් අහන්න පැන, නොම සිතලා…
සෝකනෙ වන්නේ සිත් පිලිතුරු දුන්නම උන් ගොතලා…!