ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තිබුණාද ඔබටත් සොදුරු ළමා කාලයක්

තිබුණාද ඔබටත් සොදුරු ළමා කාලයක්

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
2023-April

කඩදාසි ඔරු හදා බොර වතුරේ පා කරන
අඔගහට ගල් ගසා ලපටි ගෙඩි බිම දමන
වැහිපොදේ පොත් මිටිය හිසතබාගෙන දුවන
තිබුණා ද කාලයක් හිතේ නිදහස පිරුන

බඩගින්න දැනුණු කල කුස්සියේ සැරි සරණ
අතට හසු වූ දෙයක් හනි හනික ගිල දමන
පාටකුරක් අරන් බලි කුරුටු හැඩ මවන
තිබුනාද කාලයක් හිතේ නිදහස පිරුන

වැහි වතුර ගලා එන පීල්ලෙන් දිය නාන
දුරුත්තේ ලිප අසල වකුටු වී ගිණි තපින
ස්කෝලේ මගහරිනු මග සොයා බඩ රිදෙන
තිබුනද කාලයක් හිතේ නිදහස පිරුන

13/03/2023
ශ්‍රීයානි උඩගoගොඩ
මහනුවර