ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ළමා විය

ළමා විය

හේමා ඩෙප් - ලන්ඩනය
2023-April

ගේ ළග උණ පඳුර දඟකර ඔකද කල
ඉමිහිරි කුරුළු නාදෙන් කන් වශී කල
කිරිල්ලියක මෙන් සැම සිත් සතුටු කල
කෙතරම් සුන්දරද ඒ මගෙ ළමා කල

වෙලේ පරෙයියන් ඉගිලෙයි එක දිගට
ගැමියන් ඇදෙයි හැම අතකින් වෙලට
සුන්දර මසුන් කරණා දඟ දකින විට
අරගෙන බලන්නට හිතුනා මගෙ අතට

කෙත් වතු පැසෙයි ගොවියන්ගේ වෙහෙස අරන්
වට පිට පිරෙයි කෙවිලන්ගේ ගීත නදින්
දිව යමි නියරවල් වල මම මවට හොරෙන්
අල්ලා ගන්න කාටත් බැරි තරම් සැරෙන්

ලොකු අම්මා තමයි මා පසු පස එන්නේ
දඟ කළ විට ඇයයි මා බේරා ගන්නේ
පොඩි අයියා තමයි මගෙ තනියට උන්නේ
මා හඬනා විටදි “දන්” කඩලා දුන්නේ

මගෙ දඟකාර වැඩ ගැන නැහැ සැර වෙන්නේ
සෙනෙහස අරන් මාමා මා වෙත එන්නේ
උකුලට වෙලයි මාමගෙ සුරතල් වෙන්නේ
සුන්දර ළමා විය අමතක නොම වන්නේ

සැප සම්පතින් සපිරුනු මගෙ ළමා වියේ
දුව පැන දඟ කරපු සුන්දර ළමා වියේ
අයියයි ගස් යන්න හුරු කලෙ ළමා වියේ
තවමත් මිහිරි සිතුවිලි ඇත ළමා වියේ