ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රැඟුමත් – තාලයත් සුදු අදිරද විරිතක් ….!

රැඟුමත් – තාලයත් සුදු අදිරද විරිතක් ….!

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර
2023-April

දෙදහස් වස උරුම නිදහස බිලි දෙවුමක්

උදහස් නයු රට සුද්දට කළ පිදුමක්

සියවස් දෙකත් අට වසකට පෙර දවසක්

හිස කුස් තුළ මොළ ඇති හට එයි මතකක් ….

යට කළ අපේ කම පොරවා පර සිරිතක්

බස හෙළ බිම දමා සුදු බස රජ කෙරුමක්

වින කළ දැයට එක්සිය තිස්තුන් වසරක්

විස දළ විද අදිරද සපු කළ හදියක් …..!

සතුරන් අදිරදුන් මැඬ පළවා හැරුමක්

පතමින් රට – දැය නිදහස යළි දිනුමක්

විරුවන් වැගිරු ලෙය කළ නොමහැකි මිනුමක්

කෙලෙසින් අමතක ද දැයකට ඇති හැඟුමක් ?

ගිය මුත් දෙවා දෙස්පලු නිදහසෙ මැවුමක්

කෙලෙසත් අතැර නැහැ රූකඩ බැඳි ලණුවක්

ගැයුවත් සිතා නිදහස ඇති බව නහමක්

රැඟුමත් – තාලයත් සුදු අදිරද විරිතක් ….!!

දෙස-බස-රැස බිඳුමට රුපු දැරු වෙහෙසක්

අමතක වෙ ද දැයෙ දරු හට ඇති සිහියක්

බිම දැමුව ද අදිරද වෙඩි ඇති අවියක්

අතැර නොමැත රිසි, වෙන’යුරු යට කෙරුමක්

ලැබුවට දැයෙහි සැඳ සැත්තෑ පස් වසරක්

නයුනට නොමැත නව අදිරද ගැන ඉඟියක්

රුපුනට ඇවැසි මඟ ගෙන නොමැතිව දැකුමක්

යළි රට සෙවෙර විපතට යනු නැහැ සැකයක් …!!!

නැති කල රැස ගැන සිතනා ජන පිරිසක්

අනතුර දෙස නොදැක රට බිලි දෙන ගමනක්

යන විට ඇස-හිස-මොළ නැති දද නඩයක්

අඳුරම මිස කෙ ලෙස හෙට ඇති වෙ ද එළියක් …???

ලලිතසිරි ගුණරුවන්

2023 මාර්තු 02