ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නූතන කුවන්නාගෙන් අසමි

නූතන කුවන්නාගෙන් අසමි

ටානියා එදිරිසිංහ
2023-February

නා දල්ල වගේ නුඹේ තොල් පෙති
ආලවක යක් මුවින් තැලුවද ?
හංස යුවලක් වගේ දෙතනේ
එරුණු රං කිරි බිමට වැටුනද?
දිගු නීල නුඹේ පිරුණු වරලස
අවුල් වී විහිරිලා තිබුනද ?
අසරුවාගේ ගමන අවසන
මොණර කොල සයනයට වැටුනද ?

ඉක්බිතිව , ආලවක සුදු ඇදුම් ගත සරස ගත්තද ?
මාලිගාවක් වගේ රථයක නැගී ඔහු ඉගීලී ගියාවද ?
සුදු පැහැති නුඹේ වත මඩල මත තැලුම් කෑ රතු පුල්ලි තිබුනද ?
බරැති සුසුමක දුකක් සිරකර කදුලු හොර රහසේම වැටුනා ද ?

මලක් වගේ නුඹ පිපී එද්දී හොරුන් ඒ මල නෙලා ගත්තා ද ?
නමක් නැති ලේ කලයක් නුබේ කුසේ හෙමි හෙමින් වැඩුනා ද ?
කුවන්නා වගේ නුඹේ පරපුර නුඹව මහ මග තනිකලාවද ?
උපන් කිරිකැටියා රකින්නට , නුබේ ගත සළු ලෙහී වැටුන ද ?

(දූෂණයට ලක් වී දරු ගැබක් ලද ,ඒ සිදුවීම නිසා සිය නෑසියන් අහිමි වූ , ඉක්බිතව උපන් දරුවා රකින්නට අබිසරු ලියක් වූ , ඒ රූමත් නන්නාදුනනා සොයුරිය වෙනුවෙන් ලිව්වෙමි )