ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

2023 ජනවාරි කලාපය

පොත් බෑගයේ මත් ද්‍රව්‍ය සෙවීම

ඉස්කෝලෙ ගේට්ටුවෙ පෝලිමේ කෙළවරේ
පොත් බෑග් එල්ලගත් තැති ගත්තු ඇස් දෙකක්
ටිකින් ටික ලංවේවි රාළහාමිල ලඟට
පුංචි හද ගැහෙන හඬ පිටතටත් ඇසේවිද

ඇරල හොඳහැටි බලති බෑගයට අත දමා
පොත් ගොන්න එකින් එක එලියටම ඇද දමා
පොත් කවර නෑ කියා සැර වදන් දොඩාවිද
බැටන් පොල්ලෙන් ගසා හොඳටෝම තලාවිද

නින්ද ගියෙ නෑ ඊයෙ හාමතේ මහ රැයේ
ඉතුරු වූ දන්කුඩත් මල්ලි අරගෙන ගිහින්
හිස් බඩම ආ නිසා ඇඟට පන නෑ වගේ
කෝ උඹේ කෑම එක කියා මට තලාවිද

මත් ද්‍රව්‍ය තිබේදැයි පරික්ෂා කරන්නට
අරිනවා බෑග් එක ගැහෙනවා පොඩි දෙපා
මෙයා ළඟ මුකුත් නෑ යනව දැන් පන්තියට
තැති ගැන්ම පළාගොස් සිනා රැල්ලක් නැගේ

දරුවකුගෙ අතින් ගෙන පෝලිමේ කෙළවරේ
විඩාබර මවකගේ සිතේ පැනයක් නැගේ
දරුව ළඟ දවල් කෑමට යමක් තිබේදැයි
ඇයි රාළහාමිලට අහන්නට බැරිවුනේ
View Poem