ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වනය සහ උයන

වනය සහ උයන

ජයතිලක කම්මැල්ලවීර
2022-December

මිනිසාගේ ප්‍රයෝජනය සඳහා කෙරෙන සංවර්ධනයේදී ස්වභාව සෞන්දර්යට නැතහොත් පරිසරයට හානි වෙයි. එයින් කියැවෙන්නේ සංවර්ධනය අයහපත් බවද? මෙය උභතෝකෝටිකයකි. ඕස්ට්‍රේලියාව අතීතයේදී ඇබොරිජන් ජනයාගේ භූමියකි. ඉංග්‍රීසි ජාතිකයන් ඇබොරිජන්වරු විනාශ කර එම භූමිය අල්ලාගෙන එය බහුවාර්ගික ජනයාගේ වාසස්ථානයක් බවට පත් කළ අතර ඉතිරිවූ ඇබොරිජන්වරුන්ගෙන් පැවත එන ජනකොටසක් තවම එහි ජීවත් වෙති. ඕස්ට්‍රේලියානු ආණ්ඩු එම ජනයාට විශාල පහසුකම් සලසා ඇතත් ඔවුන් සමාජගත වන්නේ ඉතා අඩුවෙනි. වෙනම ජීවත් වන ඔවුන් තුළ නිරන්තර බියක් ඇති බව ද පෙනේ.

වන රොදක් විය එදා
නූස් කඳුගැටය මත
මා නිවස නුදුරෙහිම

හිරුට පෙර එන සහන් එළියේ
දුව පැන ඇවිදින සා පැටව්
දිටිමි කුටියේ කවුළුවෙන්
ඇසුණි නෙකරැව් කුරුලු කිචිබිචි

උදුරා වල්පඳුරු ඒ බිම
වඩවා හීලෑ කළ ගස්
සැදිණි මනරම් ළමා උයනක්

පෙනෙයි කවුළුවෙන් දැන්
නෙක රුවැති දරුපැටව්
කෙළින තුටු කෙළි
ඇසෙයි උන් නගන
උස් සිනා හඬ

එක් රැයක මැදියමේ
නින්ද මා හැර ගියෙන්
දෑස් පිස නැගිට්ටෙමි

කවුළුවෙන් පෙනේ මට
පිටත මුදු සඳඑළිය
දෙසවනට ඇසෙන්නේ
සිහින් මිණි රාවයකි

පහන් කණු බිමහෙළන
දුබල එළි පරදවා
උයන්බිම එළිය කර
පුරහඳක් සිනාසෙයි

බෝකලක් මෙහි නොදුටු
දරුකැළක් පිරිවරා
සා මවක් උයන වැද
පිණුම් කරණම් ගසයි
ඒ අතර කන් නගා
අවට විපරම් කරයි

ජයතිලක කම්මැල්ලවීර

16-11-2014
ඕස්ට්‍රේලියාවේ එපින්හි මාලන් බණ්ඩාරගේ නිවසේදී