ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිකුර හතේ….

සිකුර හතේ….

මයුරි කොඩිකාර - ගම්පහ
2022-December

විසිපහයි නෙව කෙල්ල ගෙදරට
නාකිවෙයි එහි ඇත දොසක්
කණුකුණුයි අනෙ කනින් කනටම
පාව යයි රහසක හැඩක්
පෙරහරයි සැදු බුලත් හෙප්පුව
පාටදෙයි සුදු රෙදි කඩක්
බරතමයි ඉල්ලන්නෙ සැමදෙන
පාරවයි ඉඳිකටු තුඩක්

තිබහ හරියට වතුර ඩිංගක්
ගියා කුස්සිය වටේ රවුමක්
ළිඳක් ඇතුවද පිටිපස්සෙ නෙව
බලා අහුමුලු අගේ සෙවුමක්
වැටත් හදලද ඇදක් නැතුවද
සොයා අගමුල නැගේ තරහක්
කකුල පැලිලද කොරල යහමෙට
දතේ හිඩසුත් ඕනෙ තරමක්

ගැහැණු බොහොමයි තවත් අයෙකුගෙ
අඩුපාඩු දැක නැහුන පිරිසක්
පුදුම කෙරුවයි ඇසේ කෙන්දත්
පොල් පරාලය නොදුටු මොහොතක්
සිකුර හැඬුවයි කොටුවෙ සිරවෙල
මාරුවෙන දින නොදැන වරුවක්
තැලුවෙ යකඩෙම උඩත් පැන පැන
දැවුන මුදු එය නොතැකු විලසක්