නිලුපුල් තුතිසෝම

2025 අප්‍රේල් කලාපය

හෙමින් බසිමි ඉතිරිය ඉන්පසු කන්ද

දෙළුම් පල පැහැති බොඳවුණු සිතියමක
පැළුම් ඉරිතැළුම් පිරිමැද මැදියමක
බැලුම් දහසකට මැදිකර හදවතක
නෙළුම් අතුරවමි එක ළඟ විල් දෙකක

තුරල් කරන තුරු අක් මහ වැහි කුලක
තුරුල් කොට පිසිමි දිලිසෙන ඇහි දියක
වරල් සලනු දකිමින් දවසක හනික
රුවල් අකුලමිය මම දියඹක හෙළක

සිහිල් සුළං රැල්ලක, ගෙන මකරන්ද
පුළුල් දෙනෙත් සිඹිමින් නොපෙළා නින්ද
දුහුල් හදවතට තරවටු කරමින්ද
නළල් තලෙන් බැසයමි මෙතුවක් වැන්ද

ගිමන් නිවමි දවසක එනතුරු නින්ද
ඉඳින් අඩු තරුද ගෙන දෙමි අහසින්ද
බඳින් අත්හරිමි මෙතුවක් සිරි වින්ද
හෙමින් බසිමි ඉතිරිය ඉන්පසු කන්ද

Photo Credit' Massimiliano Morosinotto
View Poem