මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

2022 ජුලි කලාපය

හීන් නඟේ

අන්දර වැටෙන් ඉර බැස යන හෝරාවේ
ගින්දර වැනි රුවක් වෙත මා නෙත යාවේ
සුන්දර කමට දඟ සිත එහෙ මෙහෙ පාවේ
තුන්දොර කොහේ රැකගන්නද ඇන්නෑවේ

සුළඟේ අක්ඹමර කෙහෙරැලි දඟ දාන
සුරතේ පහස විඳ කීකරු වෙන ගාන
මසිතේ කිතිකැවෙන සිතුවිලි හංගාන
සුවසේ කොහොම ඉන්නද මං ඉවසාන

හද සනසා සිනා මල් වැස්සක් වස්සා
මද පමණින් ලතාවට ඇගෙ හිස ගස්සා
හැඳ සිටි චීත්තයෙ පොට කොනකින් උස්සා
හොඳ සීරුවෙන් ඇය වෙල් නියරට බැස්සා

කාන්දමක් සේ ඇගෙ පසුපසින් වැටී
වාන් දමන පෙම් සිතුවිලි සමග ගැටී
හීන් තාලෙකට පැද්දෙන නිතඹෙ හැටී
රාන් කිරිල්ලියෙ නුඹ මට දහස් වටී

ආන් එහෙම බැලුවොත් නෙත් කැළුම් සලා
කාන්සියක් නැත සිටියැකි එදෙස බලා
වාන් දමයි ලෙන්ගතුකකම දෙගොඩතලා
හීන් නඟේ බහ දෙනවද සිත නොතලා

කැත්තට උදැල්ලට මගෙ අත හුරු ඇතුවා
මත්තට දුක් නොදී නුඹ රැකගත යුතුවා
තව ඉවසන්ටනම් මගෙ සිත නතු නැතුවා
සිහිනෙන් පවා නුඹ කැන්දන් එනු දුටුවා

කන්නට දෙකට අටු කොටු පිරැවෙන හින්දා
දෙන්නට හැක සතුට සම්පත සිත රන්දා
ගන්නට විගස නුඹ මගෙ පැල වෙත කැන්දා
එන්නට නැකැත තව හරි නැතුවද මන්දා

21/06/2022
View Poem