දයා ආනන්ද රණසිංහ එක්සත් රාජධානිය

2021 මාර්තු කලාපය

හිම කබාය

ගසා වසා දොර ගැලවෙන අයුරු තදින
ගියත් නික්ම යළි පියසට නොඑන විලස
එසේ වසා දැමුවේ ඔබ නොවේය දොර
ඇරී තිබුණු හදවත කවුළුවය ඔබට

දැවේ උදුන කුටියට කැඳවන උණුසුම
සිරව සිටී ඔබෙ විලවුන් සුවඳ තවම
දමා ගිය ද මතක නැතුව හිම කබාය
පුටු ඇඳි මත හරිමි තිබෙන්නට එලෙසම

කලකට පෙර රැජිණ උයන අසල දිනක
හමුවී සිත් පහන් කරන සිනා නගා
සිත් සනහන බස් තෙපලූ මියුරු සරෙන්
ඇය ඔබමද අද මෙලෙසින් සිත් බිඳලූ

මා මෙහි නැති පුවත අසා මතු දවසක
ගෙනැත් යතුරු පිටපත ඔබ සමග රැඳුණ
සෙමින් විවර කර දොර පෙර පුරුදු විලස
ගෙන යනු මැන හිම කබාය අයිති ඔබට

සුදු හිම පිඬු වීදි වසන සීත කලට
ඒ කබාය ලා අතිනත වෙළා තදින
රැජිණ මගෙහි කෙනෙකුට තුරුළුව යන සඳ
මඳක් නැවතිලා මේ ලෙස කියනු ඇතිය

" කලකට පෙර උඩු මහලෙහි මේ පියසෙම
කෙනෙක් විසී අප තරමක් දුර හඳුනන
ඔහු පෙරදිග කෙනෙකි, එහෙත්, දැන් මෙහි නැත
මට නිකමට අද හදිසියෙ මතක්වුණිය..."
View Poem