නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව

2024 අගෝස්තු කලාපය

හැම තැන අම්බලම

අම්බලමක් ඇත, නොදනිමි කොයි තැන
ආගන්තුක සැම නිරතුරු එන යන
අවසර නොම ගෙන දින දින පැමිණෙන
අයගෙන් එහි තුල නිරතුරු අසහන

වයිරය, ක්‍රෝධය කරපින්නා ගෙන
රහසින් වැඩ අම්බලමට ගොඩවෙන
කරුවල සෙවනැලි එය තුල හොබවන
අවමංගල බව සැම තැන පතුරන

මෙත් කරුණා ගුණ වඩමින් එලඹෙන
මදහස පා අම්බලමට පිවිසෙන
මුළු පරිසරයට ආනන්දය දෙන
ආගන්තුක අසිරිය යලි බබලන

අවසර නැතිවම නිතරම පිවිසෙන
ආගන්තුක සිතුවිලි හැම එන යන
මෙම තැන සිත බැව් දැන් දැන් වැටහෙන
අම්බලමක් ඇත සිත යන හැම තැන

එක් තැන් මනසින් සංසුන් විය යුතු
සිත වැඩුමට බාවනාව කල යුතු
උපෙක්කා ගුණයන් වඩනෙම් මින් මතු
අම්බලමක් ඇත පිරිසිදු කල යුතු
View Poem