වෛද්‍ය සමන් ජයමාන්න කඳාන

2025 පෙබරවාරි කලාපය

සුළුමවු බිම

“කොහෝ කොහෝ” කියා, කෝ කෝ කොහේදැයි, කොහේදැයි අහඅහා හොයා

කොහෝ, ඔය කොහාට ද නුඹ ආයෙ ආයෙ ම එන්නේ ගී රාව නඟනඟා?

බොහෝ ඈත කාලෙක බහා ලූ මතක බිජු කොටා පුපුරවා පලා

සහෝදර උණුහුමේ වෙළුණු පැටි දවස මවා ගත්තෙහි ද, කඩතුරා ඉරා?



මහෝගනි වූවාට පිහිඹියාවක් සදිසි කේඬෑරි වූ රුකක් මත කුඩා

එහේ මෙහේ තැන තැනින් ගෙනා දිරූ උල් කෝටු රවුමට පටලවා ඔබා

ඔහේ ඕනෑවට එපාවට තනා තිබූ තොටිල්ල ඇඳුණේද, හිත වටා?

කහා, කහකහා පාරා ගන්නේ කිම ද, කටු ඉපල් ළය ඇනී දුන් රුදා?




වහා පැන එලවා උරග, විහඟ රුපුන්, “කා කා” කියා කෑකෝ ගහගහා

පිහා දී රස කෑම කනුකුනු නොගා, කුණු කඳු පීරපීරා ගෙනා

ලිහා හෙමිහිට බැඳුම් හුය, අඳුරු දිනයෙක පලවා ලූ නමුදු කොටකොටා

අහෝ මවු නොමැති සඳ කුඩම්මා වූ ඇය පෑ සෙනේ කටුගෑ හැකිද, මකා?





රැහේ එකියක සහේට ගෙන සීතල රටේ පියා හැඹුවද තටු සලා

පැහේ දෝ, හදවතේ කොණක උපත, වතගොත අක්මුල් ගොජ දමදමා?

ඇහේ රත! මහමෙර බරට තැවුණි ද, රහමෙර බරට පෙවුණි ද, උදේ හවා?

වැහේ ද මිහිරි කොහෝ නදින්, හිත රැඳි කටුක කාක් කාක් අතීත කතා?................
View Poem