වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

2023 ජනවාරි කලාපය

සුසානය අබියස සිට.....

ඔබ මොබව පිය නැඟිමි
දහස් වර මේ මඟේ
බාලවිය තුරුණු විය
මැදිවියෙද එක ලෙසේ
නමුදු නොසිතිමි දිනක
එහි රැඳුනු අනියතේ
දොරටුවෙන් එහා මෙහි
සැම සතට සම වෙතේ.

නොතේරුන ළමා වියෙ
එය භූත ලෝකයක්
බිය දැනෙන පිුය නොමැති
උරුම නැති දේශයක්
කතාවට සිනාවට
යොමු නොවූ භූමියක්
නොදකින්න නෙත් යුග්ම
හරවනා මානයක්.

තුරුණු වියෙ සිහින මැද
ඒ දෙසට නැහැ නෙතක්
ලෝකයේ සොඳුරු බව
මිස නොමැත දුක් බිඳක්
දරු පරපුරක් සමඟ
එක් විලා සැනසුමක්
සොයයි සතුටක මිහිර
විපත ගැන නැහැ ඉඩක්.

පැණ වලින් මිරිකිලා
කාලයක් ගෙවෙද්දී
ළබැඳියන් ඉඳහිටව
අපෙන් සමු ගනිද්දී
හිත ටිකින් ටික දහම
වෙතට යොමු කරද්දී
මැදිහත්ව මෙබිම දෙස
නොදැනීම බැලෙද්දී.

සසර දුක දැනෙද්දී
ලැබී වේදනාවන්
සිහින පසු පස ගියා
සිතෙයි කල්පනාවන්
හැරි හැරී ඛලද්දී
අතීතෙට මනාවන්
මරණෙ පොදු දෙයක් බව
දැනෙයි කල්පනාවන්.

ළබැඳියන් යන විටදි
ටිකින් ටික අප හැරා
ගත දුබල වී දැනෙයි
සැප නොමැති පිවිතුරා
පිහිට ලබමින් දහමෙ
දෙසු ලෙසින් ලොව්තුරා
සියලු දේ නියත නැත
උපන්නොත් මිහිතුරා.

දැන් නොමැත බිය කමක්
මේ දොරටුවෙන් එපිට
සැම දෙනට පොදු දෙයකි
නිසල අරණේ පිහිට
වැහැරි සිරුරම පුදා
පණ දෙමින් මේ බිමට
මල් ලෙසින් හෙට පිපෙමු
මේ බිමේ තුරු හිසට.
View Poem