සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

2024 සැප්තැම්බර් කලාපය

සුන්දර සුර ලියන් ඇස් පිල්ලම් ගහන

ලන්ඩනයේ සිට.........

වින්සර් මැදුර නරඹා පැමිනෙන අතර
සුන්දර දසුන් අපමනි නොදකින නිතර
පින්සර බිමක වස්සානය වී නතර
මන්තරයක්ය මේ නම් ඇලෙනා සසර

අන්දර වැටක් නැතුවත් ලග සඳපාන
ගින්දර වගේ අඟනුන් කවි පද ගේන
ගන්තෙර නුහුරු රඟනා තිසරුන් රෑන
සුන්දර දෙවි ලියන් ඇස් පිල්ලම් ගාන

සමුගනු නොරිසි හිරු මේ සුන්දර දෙරන
පවසනු කෙසේ පෙම් බැදි අහසක වරුණ
අල්ලා දැත් වියපත් එකිනෙක පෙමින
මුල්ලා නැති රටේ නෙත් උණු කඳුලින් පෙගින

පෙරදිග ඇසට හුරු ගොම්මන් වෙලාවේ
නෙක රඟ තවම තිසරුන් ගං තලාවේ
දිවි අග වසන්තය නෙත් මං මුලාවේ
යලි මග ඉතිං නොවැටෙන් වැසි වළාවේ

සිල්ලර බොජුන් හල් වටකර ගත් පිරිස
ලොබ හැර පවුම් දියකර නොමවි අලස
සැකහැර පසිදුරන් සනසති නැති සසර
ගොරතර වදන් කුමටද බණ පද මතුර

පටු මංතලාවල සක්මන් කල ජෝඩු
තටු නෙක පෑති කොකටුන් නැති අඩුපාඩු
නටඹුන් රටේ සිට ආ මම දඩු කෝඩු
රටකින් කුමන පලයද වලදන නාඩු

හුරු දරු දෑත්, පෙර කල, උනුසුම මතක
සුරුවම් ලෙසින් රැකගත් නොමදත් රටක
කරුවල නොවි සිසිරය යලි මතු දිනක
සරු වස්සානයක් වේවා දරුවනි මෙලෙක

පිටියක ළමෝ ලොව මල් යායේ පිපුන
නොම දැක සමේ පෑයට නොම වි උරන
කිම හැකි වේද දක්නට යලි පෙම් දසුන
ගමනක නිමා අවසර හෙට යන බැවින

උනුසුම් සුව පහස් ඇද ඇතිරිලි සුවැති
මනරම් දිව බොජුන් දිව කට හුරු නොමැති
සුරැකුම් දරු ලෙසින් වියපත් අප රකිති
නිදුකින් දු පුතුනි නුඹ මට ණය නොමැති

වස්සානය නිමයි ලග ලග එයි සිසිර
ගස්සා දොර අගුල් සීතල එයි නපුර
ලිස්සා නොගොස් හිරු රැස් ගැවසෙන් ගෙදර
රස්සා කරන් රන් හිරු දරු අත නොහැර

උමං දොරින් එන කළුවර කෝච්චිය
ගිමන් නිමන වේවා තේ පෝච්චිය
ගිහින් ගමට ලග හිද මම තාච්චිය
ඉතින් සිහි කරමි අවුරුදු කාච්චිය
View Poem