ආරියරත්න ජයසිංහ මහරගම

2022 දෙසැම්බර් කලාපය

සුදු ඇත් පැටවෙකු සීනෙන් නොපෙනුනි

සමාවෙයන් පුත නුඹ මට
අතහැර යන්නෙමි අද නුඹ
නන්නාඳුනනා ගෙයි දොරකඩ
ඔතාපු රෙදි කඩ පමණක් උරුමව

මුරුගසන් වැසි වැටුනු මහ රෑ මිස
සඳ තරු මියැදුනු ආකාසේ මිස
අසණි සෙණ පිපිරූ මේඝ වලා මිස
කා අත වරදද නොම වැටහේ මට

කය පමණක් ඇති බඹ ලෝ තලයක
මගෙ සිත මවෙතින් වෙන්වූ මොහොතක
හුණුවී වැගුරුනි මා ගත ඔහු ළඟ
කා අත වරදද නොම වැටහේ මට

සුදු ඇත් පැටවෙකු සීනෙන් නොපෙනුනි
සල් අත්තක් හෝ පහතට නොනැවිනි
වටතිර ඇදුමට කිසිවෙක් නොපැමුණි
නුඹ පිළිගන්නට පියුමක් නොපිපුනි

පනින්නට ගඟකුත් හෝ නැති කොට
කඹ පොට හෝ මුහුදක් හෝ නැති වුව
තුන් වැනි සිල් පදය කැඩුවට
පළමු සිල් පදය නොකඩමි මම

මාර සෙනග එති හතර වටේටම
ගල් පොලු අවි හා මුගුරු දරාගෙන
සතර වරම් දෙවිවරු නැත පිහිටට
ගැලවීයනු කෙලෙසද නොදැනේ මට

සමාවෙයන් පුත නුඹ මට
අතහැර යන්නෙමි අද නුඹ
නන්නාඳුනනා ගෙයි දොරකඩ
ඔතාපු රෙදි කඩ පමණක් උරුමව.
View Poem