ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2021 පෙබරවාරි කලාපය

සීතා මැයි නුඹ මගෙ මුදු සුපෙම්බරී

පෙම්හසුන් පෙම්කතා පෙම්කවි මින් පෙර ද ඇය වෙතට ලැබුණේ
කම්පසේ පෙම් බැන්ද ඇගෙ හදවතට කවුරු ද තුරුඵ නොවුණේ
මම් කෙසේ පවසම් ද නුඹටත්‍ මගෙත් හද බැඳ ගෙනයි තිබුණේ
තම් දෙනා තම් ඇය ගැන ම මිස කිසිවකුට නැහැ මසිත් නැමුණේ

කළතනා සිසිලස මැ ළමැදෙහි සදමිනා සරිගම මැ සුසිර ය
සසවනා එන-යන මගට වෙණ වයමිනා ගයනී යැ මිහිරි ය
ගොලුවනා ගොලුවත ම රකිමින කියමනා බොරුවකි එ නරක ය
පිනවනා සවනත ද ගලමින බැස යනා දිය නීල දහර ය

ඇගේ සුරතල් ගමන දුටුවෙමි ඉඟි පපා සරදමට ඔද පා
මගේ ඇස ගත් පමණි නොව සිත් ජවය දෙන්නට තරම් තෙද පා
දිගේ යන මඟ කඩින්-කඩ වමතට ද දකුණට බඳ ද ඇද පා
වගේ ලස්සන උරගයකු බදු ලතාවට යන ගමන හැඩ පා

ඇගේ නම උණුසුමට නොව හැම විට ම සිසිලට මුල් වුණේ
වගේ ඇඟ කිළි පොලයි වැදුණ ම පිපෙයි ගත හිරි මල් වනේ
මැගේ සිත හැම විට ම දිව යයි දැඩියි චපලයි නැහැ සෙනේ
නැගේ පිස දෙ ඉවුරු ම කළඹවා නටයි සිට නොදෙවෙනි තැනේ

පෙනෙයි ඇගෙ නිරුවත තව ම දුර සිට දි බැලුවත් යහලුවේ
වගෙයි රණ හංසියන් සේ ළැම දෙ පස කඳු ඇත පාලුවේ
ඇදෙයි ඇය එ මැදින් ගලා කෙහෙරළ ද දෙ පසට මෝදු වේ
දකියි නුඹ හද පෙමින් බැඳුණොත් මා කියන දේ බොරු නොවේ

හඳුන ගත් මැය දැක පුරුද්දෙන් සුරතලිය ලෙස පද්ද - පද්දා
වැටෙන විට පහළට ඉහළ සිට උකුල-පුළු ලුකුලකට කැන්දා
වැනෙන බඳට ම කෙහෙරළ ද දිගු පිට මැදට වට රන්ද - රන්දා
කුමන හේතුවකට ද නොදනිමි පිදුවෙ මම සෙනෙහස ද බන්දා

පෙමට පෙම්කවි ලියා දුන්නෙමි ආදරේ වැඩිකමට ඇති වුණ
මෙමට කෙම්කොට පලා ගියෙ දැයි සිතුණු වාර ද සිත් කොණට වුණ
රුවට සිත් දුණි නම් චපල ගති ඇති ඇගේ කිරිපැටිය දිස් වුණ
වෙසට මිස සිත-කයට-මනසට නැති ය කිසිවක් ඇයට සිදු වුණ

රාම-රාවණ සටන් කළෙ උහු දෙන්නගේ සිත එක ම ළඳකට
තාම ඒ ලෙස පටන් ගත් ජවනිකා ඇත හද බැඳුණු විලසට
කාම ධේනුව විලස ඉන්නා මැයගෙ වත-ගොත දැනුණු පිරිසට
නාම රන්දා මැගේ දිවි මුල-අග ම කිව හැක මෙහෙව් සබයට

පෙමට පෙම් බැඳි - රසට රස දුන් නෙතට නෙත දී මුව තියා
ළයට ළය උණුසුමට සිත් තුළ ආදරය හිඳ පැන ගියා
මලට පෙති නාදල දෙතොල් මත වතුළ මදු විත එහි තියා
රළට ඉකි බිඳ හඬා වැළපී සළු ඉරා නොපෙනී ගියා

මගෙයි කියමින් මමත්වයෙ හිඳ ඇදෙස බැලු මගෙ නෙත් කොණේ
වගෙයි කැවෙමින් ඇයගෙ රූපය තව ම ඇත හදවත කොණේ
අගෙයි රවමින් විටෙක හඬමින් තවත් විටක දි මත් වුණේ
මැයයි අදටත් “සිතම්බරි” මගෙ නමින් සීතාවක් වුණේ
View Poem