සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

2025 මාර්තු කලාපය

සිතා බලා යන්න නදී මඟ අඳුරින් රුකෙන්න ......

අපමණ ගිරි හෙල් දියකර නිසොල්මනේ ගලන්න
ගඟකට හැකි නම් ම'සබඳ ඔබට නොහැක රුඳෙන්න
අතු ඉති මත සෙමෙන් දෙපා තබා ඉහල ඇදෙන්න
සවිය පිරුණු මිහිරි කවක් එයි මඟ තනි රකින්න

අහසේ එක රන් තරුවක් වාගේ දිදුලවන්න
සාරේ පිරි සිතින් නිතර පාරේ දිග බලන්න
නෑරේ ගති කෝපේ හැර වීරේ වඩමවන්න
දාහේ ගුණ මතක තබා සීතේ ගති බෙදන්න

මතකයෙ උණු කඳුළු බිංදු ලේන්සුවෙන් තෙමන්න
සිව්පදයක පහස අතර ඒ බිඳු අතුරවන්න
ඇදී ඇදී ප්‍රභාතයේ රිදී ඉරක් නැගෙන්න
නිසරු ගිරක් පාමුල ඔබ එපා ගිමන්හරින්න

කඳු ගංගා අත වනාවි තවත් කතා කියන්න
ආදර බර මුදු වදනින් යහනේ සතපවන්න
පෙරමුණ දැක ලොවේ අඳුරු පටල දෙසට ඇදෙන්න
ගලා ගලා යන්න නදී කණාටු වී නොයන්න

කුණාටු පාලම ළඟ සිට විලාප දී කියන්න
කතාවකුත් ඇති දවසක පාලම යට තබන්න
සිතා සිතා ලතවෙනකොට කතා නොකර හිඳින්න
සවිය පිරුණු මිහිරි කවක් එයි මඟ තනි රකින්න

Photo Credit: NASA
View Poem