ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

2021 අප්‍රේල් කලාපය

සාමනේර සිතුවිල්ල

සිදු වූ මළගමක හත් දවසක දානේ
බණ දේශනාවට ඇරයුම ලැබුනානේ
පෙර කාලේ නම් මේ ලෙස බර නෑනේ
ලොකු හාමුදුරුවන්ගේ පසුපස වැඩි යානේ

හිත එකලස් කලත් සැනසුම නම් නැත්තේ
නායක හිමි නැතුව ගමනක් යා යුත්තේ
හෙට නම් ඉතින් මට පිළිසරණක් නැත්තේ
බණ පද වෙතත් පන්සිල් වත් හිත නැත්තේ

මහානාහිමි වරුන් දෙසු ඒ දම් අහලා
තිබුනත් අනේ මම නම් නෑ බණ කියලා
දනවා මගේ බඩ පපුව ද ගිනි වැදිලා
මංගල බණ හෙටයි අද මගෙ හිත දැවිලා

පාලි වලින් ඇති ගාථා වල අරුමේ
තේරුම් කර දෙන්න වෙයි හෙට පස් වරුවේ
පාඩම් කරකරත් ඇයි මන් නිදි මැරුවේ
සරදම් බවකි මට අද සිවුරෙන් කෙරුවේ

කාලය ගෙවී ගොස් දිනයේ හිරු බැසුනා
සුපුරුදු අයෙක් ලෙස මා ඒ නිවසට වැඩියා
පා දෝවනය කර හරසර කර හිටියා
නමස්කාරයෙන් පසු පන්සිල් ගෙන හිටියා

ගිනි ගත් හිත නිසා දහඩිය සිවුර තෙමයි
පවන් ගහන වටා පතින් සෙනග පෙනෙයි
ඇස් සියයක් මා දෙසටම බැලුම් හෙලයි
අත් ඔසවා මුළු පිරිසම සාදු කියයි

දන්නා සියලු ගාථා මතකෙට නැගුවා
හඬගා බැතින් බුදු හිමිගේ ගුණ ගැයුවා
මහා සයුරක් වැනි දම් දැනුමක් නැතුවා
බුදුගුණ වලින් බිඳුවක් හැමටම බෙදුවා

කීරි ගසන හද තුල සහනය දැනුනා
බුදු හිමියන් ගුණ සුවඳේ සුව දැනුනා
සාදු හඩින් දෙසවන් මගෙ හිරි වැටුනා
මට නොදැනීම මංගල බණ නිමකෙරුනා

වෙනදා නොමැති අබිමන් ගතියක් දැනුනා
ආවාසය වෙතට නොදැනිම පිය නැඟුනා
අහසේ වළා තුල සිටි මා බිම වැටුනා
නායක හිමිගෙ මුව අග හසරැල් පෙනුනා
View Poem