ජානකී දීගහවතුර මහනුවර

2024 දෙසැම්බර් කලාපය

සරසවි ගිය නංගාට....

වෙනදා වගේ හැන්දෑවට අඳුර අරන්
එන්නෙමි පුරුදු අයුරින් දොර පලුව ඇරන්
නිම් නැති කාංසිය පාළුව තුරුළු කරන්
ඉකිබිඳ හඩයි නොකියූ දුක මතක දරන්

යන්නට නොදී අප්පච්චිට පොඩි කාලේ
බිම පෙරලෙමින් නුඹ ඇඩුවා මැද සාලේ
නැවතුම දැනී නුඹ ඉවසා සිටි වේලේ
අදහන්නටත් බෑ අපි ඉවසපු තාලේ

පොඩි රැළි ගවුම ඇඳගෙන සැකයෙන් වාගේ
ඉල්ලා ඇඩූ හැටි කෝකෙත් හරි බාගේ
බොරුවට රංඩු කෙරුවත් ඉඳහිට වාගේ
අයියත් ඔයත් මට නම් ඇස් දෙක වාගේ

ගෙදරදි වගේ හිතු හිතු දේ කරනවද
කුසිගිනි දරාගෙන වීරිය වඩනවද
නිදි නැති වෙලේ ගී ගයමින් සිටිනවද
මට මේ දැනෙන දුක නුඹටත් දැනෙනවද

උගතමනා ශිල්පයමය මතු රැකෙනා
යනවග නොතේරී තිබුනා නම් හිතුනා
දියණිය, යෙහෙළියක හැටියට මට වටිනා
නුඹ නැති දිනක මේ හැම මොකටද හිතුනා

සිප් නැණ ගුණය මුදු කෝමළ ගති හැමම
දින දින වැඩේවා පිවිතුරු ගති පරම
මේ ලෙස ලියමි මගෙ ආදරයේ තරම්
සහසක් මල් පිපෙයි නුඹ යන හැම තැනම.
View Poem