සිතාරා සේනාරත්න වේල්සය, එක්සත් රාජධානිය

2024 සැප්තැම්බර් කලාපය

සඳේ නුඹ...

නුහුරු නුපුරුදු සියලු දේ මැද හුරු පුරුදු බව දැනෙනවා
ගමේ ගෙමිදුල එලිය කළ නුඹ අදත් එලෙසම දිලෙනවා
නුහුරු දේසෙක නිසාවෙන් හිත සාංකාවෙන් වෙලෙනවා
සඳේ නුඹ පෙර මතක ගෙනැවිත් දෑස් අග තෙත් කරනවා

වෙලේ කමතේ ගොයම් කොළයේ නිදි වැරූ හැටි මැවෙනවා
කන්ද මුදුනින් ඇවිල්ලා නුඹ අපේ තනියට ඉන්නවා
තාත්තා රස කවි කතන්දර මිහිරි කර කර කියනවා
සඳේ නුඹ ගැන සිහින මවමින් තුරුල් වී අපි නිදනවා

ජීවිතේ ජයටැම් සොයාගෙන බොහෝ දුරකට ඇදෙනවා
සමහරක් සුන්දරම දේවල් නොදැනීම මග හැරෙනවා
මම නැතත් ඔහු එදා වාගෙම අහස් කුස දෙස බලනවා
තාත්තාගේ තනි මකන්නට නුඹ ඉන්න බව දන්නවා

22.08.24
වේල්සය, එක්සත් රාජධානිය

Photo credit; Neven Krcmarek
View Poem