සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර

2022 ඔක්තෝබර් කලාපය

සත්‍යාවබෝධ කළ කොකබුරා

නැවත නැවතත් සිනාසෙයි ඌ,
මහා සද්දෙන් නැවත නැවතත්.
කාටදෝ ඌ සිනාසෙන්නේ,
ප්‍රීතියෙන්වද මේ උදෑසන?

කටුසු භෝජන රිසි ලෙසින් ලද,
ප්‍රීතියෙන්වද සිනා සෙන්නේ?
විය නොහැක එය. වැස්ස සීතල,
තදින් දැනෙනා මේ උදෑසන,

දුක් ගැහැට නොතකා සිටින්නට,
වන්න ඇති මේ, වියරු සිනහව.
කොතෙක් ඇති දුක් ගැහට ඌ හට,
කුඩා දුක් වුව සසදනා කළ.
මිනිස් වග පෙළනා ගැහැට මෙන්,
අවුල් වියවුල් නොමැත ඒ දුක්.

නොමැත තන්හා, නොමැත වෛරය,
නොමැත කිසිකළ පෙළීමක් අන්.
කවරදාවත් නොවේ සොරකම්.
නොවේ රැවටුම් ඉරිසියා නැත.

එයින් ලද තෘප්තියෙන් දෝ ඌ,
සිනහසෙන්නේ මහා සතුටින්?
එසේ නැත්නම් නිරායාසෙන්,
හඩනවාවද? ජන්ම සිරිතට

මිනිස් අප දකිනේ සිනහ ලෙස
අපේ මනසේ පිළිබිබුවමද?

(නිහඩ පාසල පොතෙන්)
View Poem