තුෂාරි ජයසිංහ මහනුවර

2024 මැයි කලාපය

ලියුමක් වගේ කවියක්

ඔයා කතා කරන්නෙ ප්‍රාඩෝ එකේ රෝදෙ ගැන
මම කතා කරන්නෙ එදා වේල පිරි මහගන්න හැටි ගැන
ඔයා හිතන්නෙ යමක් දීල
පිනක් රැස් කර ගන්න හැටි ගැන
ඒත් එදා
අපි කතා කලේ ආදරේ ගැන
අනාගතේ ගොඩ නගන ගෙදර ගැන
ඒ ගෙදර දුව පනින අපෙ දරුවො ගැන
ඒත් දැන්
මගේ දුකක් ඔයාට කියන්න හිතන කොටම
ඊට වඩා දුකක් ඔයා මට කියනව
එතකොට දුක වැඩි කිරීම දුක වෙලා
දුකේ ගුණාකාර හැදෙනවා
අපිට එහෙම උනේ එදා ඉඳන්ම සතුටු වෙන හැටි අපි ඉගෙන ගත්තෙ නැති නිසාද?
නැතිනම් මගේ සතුට උදුරගෙන
ඔයාගෙ දුක මගෙ ළඟ තියල
මට නොකියම ඔයා ගිය නිසාද?
එහෙමත් නැති නම් අපේ තෝරා ගැනිම් මුල ඉඳන්ම වැරදි නිසාද?
කොහොම වුණත්
දුක වර්ග වෙන බව නම් පේනවා
ඒවට තව එක එක වර්ග වල දුක් එකතුවෙලා
විසඳන්නත් අමාරු සංකීර්ණ සමීකරණත් හැදෙනවා
මම දන්නෙ එච්චරමයි
ඒ වගේම මට හිතෙන්නෙ මෙච්චරයි
ඒ දුක විසඳ ගන්න පුලුවන් සරලම සරල සමීකරණයක් වුණා නම්
එදා ඔයා සතුට ධන කරල දුක ඍන කලා නම්
අද අපි දෙන්නටම සතුටෙ ගුණාකාර ලැබෙන්න තිබුණා.

Image by Rajesh Balouria from Pixabay

2024.04.06.
View Poem