කපිල කුමාර කාලිංග

2024 අගෝස්තු කලාපය

ලන්ඩන් ගිය තාරා

උඩරට රාජධානි සමයේදී ,බ්‍රිතාන්‍යයයන් විසින් ඔවුන්ගේ රටට රැගෙන ගිය තාරා දෙවඟනගේ ප්‍රතිමාව නමින් ප්‍රකට විශිෂ්ඨ කලා නිර්මාණය දැන් පවතින්නේ ලන්ඩන් කවුතුකාගාරයේ ය.පසුගිය වසරේ පමණක් එහි පැමිණි දෙස් විදෙස් ජන සංඛ්‍යාව 5,820,860කි.
තාරා දෙවඟන යළි ලබාදිය යුතු යැයි ඇතැම් පිරිස් ඉල්ලීම් කරති.


තාරා
නොඑන්න යළි මෙහි
ඔතැන ඔබ
ආරක්ෂිත ය.

ලොව නන් දෙසින්
එන රසික දන
දැක ඔබ රූසිරි
විඳ යති ඔවුහූ - විශ්මිතව
අගයමින්- කලා නිමැවුම

උඩු කය නොවසා
සළුවකින් හෝ
පුන් පියයුරු විදා
සිටිනයුරු ඔබ
සීත රටකට වී
පුදුමයි විටෙක මට

ගත හැකි මිටින
ඔබ සිහිනිඟට
බර වැඩි නැති ද
පියයුරු මඩළ

නොසිතේමැයි මට
දෙවඟනකැයි ඔබ
ඇසි පිය හෙළන පමණින්
නොවෙද ඒ වෙනස

ඔබ නිමවූ
ඒ නාදුනන කලාකරු
දෙව්ලොව හිඳිමින්
තුටුවනු නිසැක
ඔබ ලබන සැලකුම්
පැසසුම් දකිමින්

කටුගෙයක් යනු
සිරගෙයක් තමා
කලා කෘතියකට

ඒත් ඔබ
ඔතැනම ඉන්න
එපා යළි මෙහි එන්න
රස විහින
අමන කැල
සොරාගෙන ගොස් ඔබ
කැබලි කොට
උණු කර
තඹ ගුලියක් සේ ගෙන
අලෙවි කර
දමනු ඇත
සුළු මිලකට

ඔබ ඉන්න
ඔතැනම
තාරා මගේ
අඩනාරි දෙවඟන


29/07/24.
View Poem