ආචාර්ය සෝමරත්න දිසානායක

2021 ජුනි කලාපය

රෝග වාර්තාව

උණ නැගල හතලියට හිස මුදුන කරකැව්ව
මගෙත් අවසර නැතිව නෝන දොස්තර හෙව්ව
කුඹුරු වැඩ, කොටුවෙ වැඩ, කියල නොකියන එව්ව
බලෙන් වගෙ මම අරන් රෝහලට ඇරලැව්ව.

හැමදාම ලෙඩ බලන පවුලෙ දොස්තර ලව්ව
උණ බලල, ඇඟ බලල, කොලේ මොනවද ලිව්ව
තවත් මොනවද කිව්ව තේරුනේ නෑ එව්ව
රෝද පුටුවක තියල වාට්ටටුවකට යැව්ව.

කොරෝනලු හැම තැනම මටත් හැදිලලු එව්ව
ජීවිතේ මෙපමන ද පපුව ඔළුවෙන් ඇහුව
ගෑනු පිරිමිද නොදත් ගෝනිබිල්ලන් ලව්ව
කටු ගහල, බට ගහල, ඇඟේ ගිනියම නිව්ව.

හුඟ දෙනෙක් තැති ගනියි රටට දැනුනොත් මෙව්ව
නොකිය බැරි කෙටිම කෙටි පිරිස කවුරුද හෙව්ව
අතට ගෙන සාක්කුවෙ හිටපු පොඩි වැලිගොව්ව
ඇඟිලි ඇන ඇන ඌට සියලු තොරතුරු යැව්ව.

ලබැදි ලොකු පොඩි සැවොම හිස මුදුනෙ ගිනි මැව්ව
සෙත් පිරිත් උන් කිව්ව, සෙත් කවිත් මට ලිව්ව
බෝධියට කිරි හලල පහන් වැටවල් මැව්ව
නාත, ගන, කාලි, සිව, දේව මංඩල හෙව්ව.

මගේ ලඟ බැති සිතක් නැති උනත් වෙත ඔව්ව
අනේ මට ආදරේ නිසයි උන් කලෙ එව්ව
පුද ලබපු දෙවියන්ට කෝවිඩ් ද හිත ඇහුව
වැඳ වැටුන මගෙ එවුන් මගේ සුරලොව මැව්ව.

දින ගනන් රෝහලේ උඩ බලන් කල් ගෙව්ව
මගෙ රේනු මගෙ ලඟම තනි නොකර පව් ගෙව්ව
ගෝනි බිල්ලෙක් ඇවිත් දැන් සනීපයි කිව්ව
සල්ලි නම් තිබුනෙ නෑ නෝන ගොස් බිල ගෙව්ව.
View Poem