විල්සන් හෑගොඩ

2021 ජුනි කලාපය

රත්නගෙ මළගම

පැදුරක් ඇඳක් රෙද්දක් ඇත අගුව කොනේ
මිදුලෙහි පුටු පෙළට අඹ ගස් සෙවන දැනේ
සුදු කොඩි දෙකක් පොල්ගස් දෙක අතර වැනේ
කඳුලෙන් පිරුණු නෙත් මැලවුණු මුහුණු පෙනේ

සීතෝ දයේ දුක් පෙණපිඬු නගන ලෙසේ
කතෝ නිසුත් පුතු මළ සෝකයෙන් වෙසේ
"පුතෝ නුඹ නැතිව මම වෑවෙමිද කෙසේ "
ලතෝ නියක් සුළඟට පැහැදිලිව ඇසේ

මිත් නෑ පිරිස බඩ බැඳගෙන සිටිය අනේ
හිත් තිය මැණික අද මළ මිනියක්ව පෙනේ
රත් නගෙ ජීවිතයෙ තොරතුරු කියන මෙනේ
පිත් තල පහනෙ සිල ඒ මේ අතට වැනේ

අත් දෙක පපුව උඩ රැඳෙමින් ඇඟිලි බැඳ
නෙත් දෙක වැසී මුව සුදුමැලි පැහැය වැද
වත් තට පෙනෙන්නට සාලය අතර හිඳ
රත් නේ මොකද උඹ නොනැඟෙන නිදිද අද

අයි යෝ ගමේ වැසි වැඩිහිටියන්ගෙ මුවින්
සයි රෝ ගියා නමලත් ඉරණමෙහි පවින්
බුයි අප්පුගෙ පුතා පරලොව වැඩිය බැවින්
ගෙයි පින්තූර නොපිටට පෙරලුනිද සොවින්

හිඟ නැහැ සෙනග නම් හිතවත් කමට ඔබේ
ළඟ දුර නෑ මිතුරු පෙළ දෙණ අවට හෙබේ
දිග සුසුමකින් පසුවෙන අවමඟුල් සබේ
සිග රට් සුරුට්ටුත් බුලතුත් පසෙක තිබේ

මාසය කට ඉහත මා එනකොට වැද්ද
වේසය අහෝ නැවතත් කෙදිනක දෙද්ද
කාසය හැදී මළ රත්න ගෙ සිල් රෙද්ද
මේසය උඩට දැම්මේ වරදක් නැද්ද

රැස් වී සිටින පිරිසට රස බසක් නොදී
බස් නා හිරට හිස යොමුකොට රත්න නිදී
ඇස් අග කඳුළු දැක හැමගෙම වැටෙන බිඳී
වෙස් සන්තර ජාතකය දොඩමළුව ඉඳී
View Poem