ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

2025 මැයි කලාපය

යළිත් මගේ වෙන්න මගෙ අප්පච්චි

කුඹුරු කොටා ගොයම් හැදු අපේ අප්පච්චි
හේන්කොටා තල කුරහන් වැව් අප්පච්චි
ගමෙන් එපිට තැන්තැන්වල ගිය අප්පච්චි
අතින් හිසින් බඩුමළු ගෙන ආ අප්පච්චි

උඩරට සිට රජරටටත් ගිය අප්පච්චි
ගහේ වැලේ ඇලේ දොලේ ගිය අප්පච්චී
උදයට බී කහට උගුර කුඹුරට වෙච්චි
දහවල් බත්ටික කනවිට අඳුර වැටිච්චි

හේනේපැලේ පැල්රැක්කේ අපි එකට
කමතේපැලේ බැතරැක්කේ අපි එකට
මහඇලේ ගිහින් දිය බැන්දේ මහරෑ එකට
හාමතේ ඉඳන් වුව කැව්වා බත්පත අපට

කැලේ ගිහින් දර කැපුවේ විකුණාගන්න
ගහේ ගිහින් පොල් කැඩුවේ ගෙඩියක් ගන්න
පැලේ ඉඳන් නිදි වැරුවේ වගා රකිගන්න
වෙලේ ඉඳන් යලි ආවේ තරු බලමින්න

නොගියත් පෙර අප්පච්චි පාසලට නිසිලෙස
ගත්තේ දිවිබර බෙදා විරුවෙක් විලස
කාලය ගෙවී ගෙවී ගිහින් පැතුමන් විලස
මම පුතු වුනා පියතුම එළුවා රතු පලස

රෝගිවෙලා ගියමුත් රෝහල වෙත
වැඩපල හා අපගැන යොමුවුනේ සිත
නෙතසිත යෙදූමුත් වෙදදුරු ඔහු වෙත
සුවයක් ලැබුවෙ නැහැ පියතුමගෙ ගත

පැතුවේ සුවවෙන්න කියා අපිනම් අප්පච්චිට
සිතුවේ සුවවේවි කියා රෝගය නම් හිමිහිට
සුපුරුදු පරිදි ගියමුත් මහ රෑ නින්දට
අලුයම ගිහින් අපහැර වෙන ලොවකට

නිසිලෙස ගත්තෙ නැහැ අහරක් සිය කුසට
අසනීපයක් දැනුනත් නැහැ ගත්තේ ගනනට
සිතුවේ විඳින බව දුක් දරුවන් ඔහු සුවකිරීමට
පැතුවේ දියුණුවයි මතු අපෙ දුක් නිවන්නට

වසර ගණන් දුක්වින්දේ නැහැ අප්පච්චි
සති දෙකක් යද්දි නැතිවුනානෙ අපෙ අප්පච්චි
නිවන් දකින්නට පෙර උපනොත් යළි අප්පච්චි
යළිත් මගේ මගේ වෙන්න මගෙ අප්පච්චි
View Poem