නිශ්ශංක දිද්දෙණිය

2022 ඔක්තෝබර් කලාපය

යසෝදරා අවදියෙන් (ජන සාහිත්‍යයේ ‘යසෝදරා’ කාව්‍ය ඇසුරෙන්)

"තෙමා වැටේ මගෙ සළු පිළි නෙත් පුරවා
අමා රසක් වැනි හිමි සඳ සිහිවෙනවා
දමා කුමරු වැඩියා මට සිහිවෙනවා
මෙමා හැර ලියෝ ලෙව් තුළ ඇද්ද තවා"

දෙනෙත පියාගෙන උන්නු නමුදු
නොම උන්නෙමි සුව නින්දේ
අවුදින් ඔබ අප දැක යළි පෙරළා
ගිය’යුරු සිහියෙ රැඳේ

ස්වර්ණ නිධානය ලෙස රැක ගන්නට
ලෝබ හැඟුම් නොතිබුණාා නොවේ
සසර පුරුදු ලද සංවර සිත මිස
බිම්බාවන් ඉඩ දුන්න නොවේ

කන්තක ගේ කුරහඬ වියැකී ගොස්
අවට ම නිසල ව තිබුණු රැයේ
නිදි නැති යහනේ දුක’ඳුර ගැලුවේ
ඉකිලන සුසුමින් දැවෙන ළයේ

භවෙන් භවේ අපි ආ සැටි සිහි වී
හැඬූ කඳුළු යුග නෙතු පුරවා
සිතින් දරාගෙන ඉවසා උන්නේ
ඉවෙන් දැනුණු හින්දයි බුදු වෙනවා

"සුවඳ බොජුන් වැළඳූ මගෙ හිමි සඳට
නිබඳ බොජුන් රසකර දුන් වළඳන්ට
සුවඳ පලාපල මැවියන් හිමියන්ට
සුවඳ මල් නිතර පිපියන් රන් කඳට"

2022.09.19
View Poem