සචී ජයවර්ධන

2022 නොවැම්බර් කලාපය

යම රජ්ජුරුවන්ට Love lesson එකක්

අපි යමු?
ඇය ඇසුවේ එකකි
මම මේක ඇඳන් යන්නද?
මඟට බැස්සද මා සමඟ
ඇයට නැත වගේ වගක් යන තැනක
පුරුද්දට දුන් වම් අතේ එල්ලිලා
ගියා ඇය
ගෑවෙමින් වැදෙමින් උරහිසට

මඟක් ගිය තැන මමම ඇසුවෙමි
දන්නවාද? අපි අද යන්නේ කොහිද කියා?
ඒත් නෑ වගේ වගක් ඇයට
පුරුද්දට දුන් වම් අතේ එල්ලිලා
ගියා ඇය
ගෑවෙමින් වැදෙමින් උරහිසට

“අපි යන්නේ අද අපායට
යම රජ්ජුරුවන්ට පවුල් ප්‍රශ්නලු හරියට
ගමන අමාරු වුණත් කොච්චර
යන්නම ඕනෙවෙයි අපි එහෙට
යම Couple එකට ආදරේ ටිකක් උගන්නන්න”

ඒත් නෑ වගේ වගක්වත්
පුරුදු විදිහට හිනා වී මහ හයියෙන්
වම් අතේ එල්ලිලා ඈ
ගෑවෙමින් වැදෙමින් ගියා උරහිසේ

ඇය:- මට බඩගිනියි දැන්
මම:- දැන් බඩ පිරුණා නේද?
ඇය:- වතුරත් ඕනේ මට
මම:- ඔන්න දැන් හරි නේද?

ආයෙත් පැනලා එල්ලිලා පුරුද්දට
“ලස්සනයි නේද මම අද”

ඇනෙන කටු ඉඹුල්
කකෑරෙන ලෝ දිය හැලියේ රස්නෙන්
වේදනා පාරවන ඇදුම්කන විලාප ඇහෙද්දිත් තරඟෙට
ඇදුණෙ අපි හෙමිහිට
යම රජ්ජුරුවන්ගේ Visiting Room එකට

ඉක්මනින් කණට ළං වූ ඈ
“වාඩි කරගන්න ළඟ පුටුවෙම මාව”

පුරුද්දට ඇයට ළං කරන් ආසනය
වාඩි වුණේ ගෑවෙමින් ඇගේ උරහිසට
තුෂ්නිම්භූත බවකි පෙන්නුවේ යම රජු
ඇසුවේ එන ප්‍රශ්නයයි අඬ අඬම මගෙන් ඔහු

“Wife ත් ආවද ඔයත් එක්කම අපායට?”

ඉන්නේ අපායෙද, කියලවත් නෑ වගක් ඇයට
ගෑවෙමින් වැදෙමින් උරහිසට
ඇහුවේ පුරුදු ප්‍රශ්නෙමයි හත්වෙනි වතාවටත් ඇය
“එ...ආදරෙයි නේද මට?.”
View Poem