මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

2025 ජනවාරි කලාපය

මොණරිඳු

හිමිදිරියේම අප ගෙමිදුල තණ නිල්ලේ
ලා හිරු කිරණ තුරු අතරින් එක එල්ලේ
රටා මවන විට සිඹ මල් පියල්ලේ
මනරම් රුවකි නෙත ගැටුනේ ඇසිල්ලේ

තද නිල් පැහැය විල්ලුද මෙනි දිඟු ගෙලකී
හිස මත කිරුල මෙන් දිලෙනා පෙඳ පෙලකී
දිඟු පිල් කළඹ තාලෙට සැලෙනා ලෙසකී
මොණරිඳු දසුන ඇස අදහා ගත නොහැකී

තරමක් ලං වුණද කිසි බිය සැකක් නැත
හුරු පුරදුවට මෙන් එහෙ මෙහෙ ඇවිද යත
හිස සල සලා වට පිට යොමමින්ද නෙත
පැදකුණු කළේ පෙන්නන්නද තුරුණු වත

මෙතරම් දුරක වෙහෙසක් නොම බලමින්ද
නඟරයෙ විසල් මන්දිර මග හරිමින්ද
වෙන කිසිවෙකුට නොපෙනී නොම දැනෙමින්ද
මගෙ නිවහනට මග කිව්වේ කවුරුන්ද

මොණරෝ නුඹව කඳ සුරිඳුන් එව්වාදෝ
සුවදුක් අපේ විමසන්නට කිව්වාදෝ
නව වසරකට සුභ ආසිරි දුන්නාදෝ
කවුරුන් නැතත් සුරකින බව කිව්වාදෝ

හොඳ කල්පනාවෙන් වට පිට බලාපන්
නපුරු දනන් ඇස නොගැටී මුවාවෙන්
කෙටි දුර වුවත් හැකි අයුරින් පියාඹන්
අප හොඳ සුවෙන් බව මොණරෝ කියාපන්



28.12.2024
View Poem