මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

2024 අගෝස්තු කලාපය

මේ ඔබටයි...

බෙදා කතා බස් සතුටින් හිනැහෙන්න
බදා සෙනෙහසින් ඔබ මුව සිපගන්න
මුදා සියලු දුක හිතුනම වැළපෙන්න
එදා වගේ හැමදාමත් ළඟ ඉන්න

වැරදුන දිනට මා පසෙකින් හිටගන්න
පැරදුන පැයක අත අල්ලා නැගිටන්න
හැමදින අරුණ ලා හිරු සේ පුබුදන්න
සැතපෙන රැයෙත් සිහිනෙන් සිහිනෙට එන්න

කැළඹුන විටදි නිහඬව නිසලව ඉන්න
ඉවසන අයුරු නිතරම පහදා දුන්න
දින දින ගෙවෙයි කිසිලෙස බැහැ නවතන්න
අවසන කියමි මෙය හොඳහැටි අහගන්න

සසර මගේ මම ගියහම නොම එන්න
හතර රියනෙ මල් පඳුරක් හිඳුවන්න
නිතර හැකිය මට අතු අග සුපිපෙන්න
නතර නොවී ඔබ දුක සැප විමසන්න

Photo credit; Walter Brunner
View Poem